May 02, 2024

රනිල් පරාජිතයෙක්: ආණ්ඩුවේ ඩීල් කාරයෙක්: දැන් කරන්න පුළුවන් දෙයක් නැහැ - රාජිත

සමගි ජන බලවේගය මුල්කොට ගොඩ නැගෙන ආණ්ඩු විරෝධී පුළුල් සන්ධානය කඩාකප්පල් කිරීමට පරාජිතයකු වන එක්සත් ජාතික පක්ෂ නායකයාට කළ හැකි දෙයක් නැති බව වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා.

එම සන්ධානය ගොඩ නැගීමේ කටයුතු ප්‍රමාද වූයේ කොවිඩ් වසංගත තත්ත්වය නිසා බවයි ඔහු අවධාරණය කරන්නේ.

පුළුල් සන්ධානය ගොඩනැගීම

සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන සේනාරත්න මහතා මේ බැව් සඳහන් කළේ සමගි ජන බලවේගය මුල්වී ගොඩ නගන පුළුල් සන්ධානය නිර්මාණය කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමින්.

එම සන්ධානය ගොඩනැගීමේදී ප්‍රධාන බාධකයක් විය හැකි බවට විශ්වාස කෙරෙන එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් එල්ල විය හැකි බාධා කිරීම් පිළිබඳවද එහිදී විමසීමක් කළා.

ඊට පිළිතුරු දෙමින් සේනාරත්න මහතා සඳහන් කළේ රනිල් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ආ අන්ත පරාජිතයකු බවයි.

පාප කර්මයේ වග උත්තරකරු

වත්මන් ආණ්ඩුව බිහි වූයේ රනිල් වික්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුවේ අගමැතිවරයා ලෙස කළ පාප කර්ම වල ප්‍රතිඵලයක් ලෙස බව සඳහන් කරන මන්ත්‍රීවරයා වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමේ ප්‍රධාන වග උත්තරකරු ඔහු බවයි පෙන්වා දෙන්නේ.

යහපාලන ආණ්ඩු සමයේ වික්‍රමසිංහ මහතා වත්මන් ආණ්ඩුවේ නායකයින් සමග කළ ගනුදෙනු පිළිබඳව මුළු රටම දන්නා බවත් අදටත් එ.ජා.ප යේ බොහෝ අය වත්මන් ආණ්ඩුවත් සමඟ ගනුදෙනු කරන බව අනාවරණය කරනවා.

රනිල් වික්‍රමසිංහ මහතා මොන බුද්ධිමතකු කීවත් මේ වන විට ජනතාව ප්‍රතික්ෂේප කළ ජනතාවගේ විශ්වාසය යළි දිනා ගැනීමට නොහැකි පුද්ගලයකු බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

සමගි ජන බලවේගය මූලික වූ නව සන්ධානය ගොඩනැඟීම සඳහා සිවිල් සංවිධාන සමඟ මෙන්ම දේශපාලන කණ්ඩායම් සමග මේ වන විට සාකච්ඡා කෙරෙමින් තිබෙන බවත් ඒ අතරින් ඇතැම් සංවිධාන සහ කණ්ඩායම් සමඟ එකඟතාවයන් ද ඇති කර ගෙන තිබෙන බවත් සේනාරත්න මහතා අනාවරණය කරනවා.

Rate this item
(2 votes)
Last modified on Thursday, 21 October 2021 03:11