May 12, 2024

අද සිට දරුවන්ට එන්නත්කරණය කරන රෝහල් මෙන්න Featured

September 27, 2021

සංකූලතා සහිත දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන අද (27) සිට බස්නාහිර පළාතේ සියලුම රෝහල් තුළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ඒ වයස අවුරුදු 12ත් 19ත් අතර විවිධ රෝගාබාධ සහ නිධන් ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහාය.

අද සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුළදී දරුවන්ට එන්නත් ලබාගත හැකි බවයි ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා පැවසුවේ.

දිවයිනේ සෙසු පළාත්වලටත් කඩිනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙන බැවින් බස්නාහිර පළාතෙන් පිටත ප්‍රදේශවල සිට දරුවන් රැගෙන නොඑන ලෙස මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා ඉල්ලීමක් කළා.

මේ අතර වයස අවුරුදු 12ත් 19ත් අතර රෝගාබාධ සහ නිධන් ගත රෝගවලින් පෙළෙන දරුවන් සඳහා කොවිඩ් එන්නත ලබාදීම ඊයේත් සිදුවුණා.

ඒ, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහල සහ කුරුණෑගල, අනුරාධපුර ශික්ෂණ රෝහල්වලදීය.

මේ අතර මෙතෙක් එන්නත් ලබාදුන් දරුවන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් මහතා සඳහන් කළේ, “මේ වනවිට එක දරුවෙකු පමණක් අපි රෝහලට ගෙන්න ගත්තා නැවත. ආසාදිත තත්ත්වයක් ඇවිත් තිබුණ නිසා. නමුත් ඒ දරුවත් බොහොම පහසුවෙන් රෝහලේදී සාමාන්‍ය තත්ත්වයට පත්වුණා. අනෙක් සියලුම දරුවන්ගේ සාමාන්‍ය තත්ත්වයන් තියෙන්නේ.”

Rate this item
(0 votes)