May 10, 2024

රත්වත්තේගේ සිද්ධිය ගැන ඇමති ජොන්ස්ටන් කට අරී

September 20, 2021

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සම්බන්ධයෙන් ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කර තිබුණා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ "ලොහාන් රත්වත්තේ ඇමතිතුමා සම්බන්ධ සිද්ධිය පිළිබද රජයේ පාර්ශවයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යනවා. මම එතන හිටියෙ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ එතන එහෙම සිද්ධියක් සිදු වුනාද නැද්ද කියලා. පරීක්ෂණ වාර්තා වලට කලින් මම මතයක් ප්‍රකාශ කරනවා නම් ඒක වැරදියි" යනුවෙනි.

අමාත්‍යවරයා මේ අදහස් පල කලේ ඩබ්.ඒ. සිල්වා මාවතේ සිට පාමංකඩ පාලම දක්වා මාර්ගය දෙපස රුක්රෝපණය කිරිමේ වැඩසටහනට එක්වෙමිනි.

අමාත්‍යවරයෙක් ඉල්ලා අස්වුණේ පළමු වතාවට

"මම හිතන්නේ බන්ධනාගාර රාජ්‍ය ඇමතිතුමා හැටියට එතුමාට එල්ලුම්ගහ බලන්න යන්න අයිතියක් තිබෙනවා. මේ විදිහට අමාත්‍යවරයකුගේ ඉල්ලා අස්වීමක් පලවෙනි වතාවට සිදු වුණා කියන එක වඩාත් නිවැරදියි. ලෝකයේ විවිධ රටවල් වල එහෙම වෙලා ඇති. එදා කිව්වේ වරදක් සිදු උනාම වෙනත් රටවල අය නම් ඉල්ලා අස්වෙනවා මෙහෙ අය එහෙම ඉල්ලා අස්වෙන්නේ නැහැ කියලා. දැන් ඉල්ලා අස් වුණහම කියනවා ඊටත් වඩා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ලොහාන් රත්වත්ත ඇමතිතුමාව ජනාධිපතිතුමා තමයි පත් කලේ. එතුමා වැරැද්දක් කරා කියලා මාධ්‍යය ප්‍රචාරය කලා. ඒ නිසා එතුමා ඉල්ලා අස් උනා. මේක ඉතාමත් හොඳ දෙයක්. එදා මහ බැංකුව කඩපු අය ඉල්ලා අස් වුණේ නැහැනේ. ප්‍රේමදාස මහත්තයා කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියලා එතුමා ඉල්ලා අස් වුණා ද. තමන්ගේ සේවකයෝ ගිහිල්ලා නෝනගේ සැලූන් එකේ වැඩ කෙරුවා කියලා ප්‍රේමදාස මහත්තයා අඩුම ගානෙ සමාවවත් ගත්තද? ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයක් යටතේ මෙවැනි දෙයක් සිදු වුන එක ගොඩක් හොද දෙයක්. අපි විනයක් ඇති රජයක්." යැයි අමාත්‍යවරයා පැවසුවා.

එතුමන් තවදුරටත් රාජ්‍ය අමාත්‍යවරයෙක් නේද ?

"එතුමා මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා"

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මැතිතුමාට අපරාධ චෝදනාවක් එල්ල වෙනවා නේද ?

"මුලින්ම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතුයි. එකපාරට අපිට ඒ ගැන කියන්න බැහැ. එතුමන් ඉල්ලා අස්වෙන්නේ නැතුව, ගෝඨාභය ජනාධිපතිතුමන් එතුමාට ඉල්ලා අස්වෙන්න එපා කියලා කිව්වා නම් මොකක්ද අද තියෙන තත්වය. මේ වන විට ඒ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ පාර්ශවයෙන් පරීක්ෂණයක් සිදු කරගෙන යනවා ඒ පර්යේෂණයේ වාර්තා එනකන් ඉන්න වෙනවා. පරීක්ෂණ වාර්තා වලට කලින් මම මතයක් ප්‍රකාශ කරනවා නම් ඒක වැරදියි. මම එතන හිටියෙ නැහැ. ඒ නිසා මම දන්නේ නැහැ එතන එහෙම සිද්ධියක් සිදු වුනාද නැද්ද කියලා. නමුත් එතුමා ඉල්ලා අස් වුණා, ඒක හොඳ දෙයක්. මම විශ්වාස කරන්නේ මේ ප්‍රවණතාවය හොඳයි කියලා."

ඒක අලුත් දෙයක් නෙවෙයි

"අපේ රටට මානව හිමිකම් පිළිබදව ප්‍රශ්න තියෙන වෙලාවේ ලොහාන් රත්වත්තේ මහතාගේ මේ ක්‍රියාකලාපය කොහොමද රටට බලපාන්නේ යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා සඳහන් කළේ. "මානව හිමිකම් ප්‍රශ්න අද විතරක් තිබුන දෙයක් නෙවෙයි.ඒවා මේ රටට හැමදාම තිබුණා. අපේ රජයට මේ මානව හිමිකම් ප්‍රශ්න එදා ප්‍රභාකරන්ව මරපු දවසේ ඉඳලා තිබෙනවා. ඒක අලුත් දෙයක් නෙවෙයි. දැන් මේ ගැටලුව මානව හිමිකම් වලට ගෙනිහින් තියෙනවා. අපි ඒ ප්‍රශ්නයටත් මුහුණ දෙමු."

පහුගිය මැතිවරණය ජයග්‍රහණය කිරීමට ඔබතුමන්ලාට පාස්කු ප්‍රහාරය පිටුවහලක් වුණා කියලා කියනවා. නැවතත් එවැනිම ප්‍රහාරයක් එල්ල වෙන්න යනවා කියලා වාර්තා වෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්දව දැන් බයක් දැනෙනවා නේද යැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දුන් අමාත්‍යවරයා,

"ඒක අමූලික බොරුවක්. ජාතික ආරක්ෂාව කිසිසේත්ම බිල්ලට දෙන්නේ නැති ආණ්ඩුවක් තමයි අපේ රජය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් වුණ ගමන් මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු වුණා. මොන සැලසුම් කවුරු කරන්න හැදුවත් ඒකට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපිට වඩා දියුණු නවසීලන්තයේ මොකක්ද සිද්ද වුනේ. ශ්‍රී ලංකාවෙන් ගිය පුද්ගලයෙක් ත්‍රස්තවාදී කටයුතු වලට මුල් උනා. පසුගිය යහපාලන රජය වගේ අපේ රජය රටේ ජාතික ආරක්ෂාව බිල්ලට දෙන්න සූදානම් නැහැ. මේ රටේ ජනතාව බිල්ලට දෙන්නේ අපි සූදානම් නැහැ. අපි මේ දේවල් ගැන හොයා බලනවා. රටේ ආරක්ෂාව තහවුරු කරගෙන ඉන්නේ. රාජ්‍ය ආරක්ෂාවට තර්ජනය වන කිසිම දෙයක් සිදු වන්න අපි ඉඩ තියන්නේ නැහැ. ඒක ඉතාමත් වගකීමෙන් කියනවා." යැයි අමාත්‍යවරයා සඳහන් කළා.

මගේ මතය වැඩක් නැහැ 

වෛද්‍ය සංගම් කියනවා ඇඳිරි නීති කාලය තව තවත් දීර්ඝ කළ යුතුයි කියලා ?

"මම වෛද්‍යවරයෙක් නෙමෙයි. මගේ මතය වැඩක් නැහැ ඇඳිරි නීතිය දීර්ඝ කරන්න. ජනාධිපතිතුමා වෛද්‍යවරුන් සහ විවිධ ක්ෂේත්‍ර වල නියුතු අය කියන දේවල් අහලා නිවැරදි තීන්දු තිරණ ගන්නවා. හැට නව ලක්ෂයක් ජනතාව එතුමන්ට ඡන්දය දුන්නේ නිවැරදි තීන්දු තීරණ ගන්න." යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

Rate this item
(0 votes)

Related items