April 26, 2024

මාසයකට රට වහන්න? සෞඛ්‍ය බලධාරීන් අවසන් තීරණයට සූදානම්

කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ඉතා දැඩි ලෙස රට තුළ පැතිර යමින් පවතින මේ මොහොතේ රටේ සියලුම සෞඛ්‍ය අංශයන් එහි උපරිම ධාරිතාවට දැනටමත් පැමිණ ඇතැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෘත ශරීරාගාර ද ඒවායේ උපරිම ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවත් මෙය රජයේ මෙන්ම පුද්ගලික වෛද්‍ය සේවාවන් වලට ද එකසේ බලපා ඇති බවත්ය.

දිනපතා සිදුවන මරණ සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර මේ දිනවල අප ලෝකයේ ඉහළ ම කොවිඩ් 19 මරණ අනුපාතයන් වාර්තා කරමින් පවතිනවා.

උච්චතම අදියරට ඇවිත්

රෝගීන් සංඛ්‍යාව මෙන්ම විශේෂයෙන්ම ඔක්සිජන් අවශ්‍ය වන රෝගීන් සංඛ්‍යාව ඉතා දැඩි ලෙස ඉහළ යමින් පවතින අතර ප්‍රතිකාර කිරීමේ පහසුකම් එහි උච්චතම අදියරට පැමිණ ඇති බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

ඒෂියන් මිරර් ප්‍රාදේශීය වාර්තාකරුවන්ද සඳහන් කළේ මේවනවිට දිස්ත්‍රික් ගණනාවක කොවිඩ් ප්‍රතිකාර වාට්ටු රෝගීන්ගෙන් පිරී ඇති බවයි. ඒ පිළිබඳ තොරතුරු අදාල සෞඛ්‍ය බලධාරීන් තමන්ට ලබා නොදෙන බවද ඔහුන් අප සමඟ පැවසුවා.

මාසයක් රට වහන්න

මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගතය පාලනය සඳහා අවම වශයෙන් සති හතරකටවත් රට වසා දමා නිරෝධායන ඇඳිරි නීතිය පනවන්නැයි සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

රෝගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යාම සහ මරණ සංඛ්‍යාව දිනෙන් දින වැඩි වීම සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි මට්ටමට පැමිණෙමින් තිබෙන බැවින්, මෙවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම අත්‍යවශ්‍ය බවද ඔවුන් රජයට දැනුම් දී ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග සඳහන් කරනවා.

කොවිඩ් ආසාදිතයින් තුන් දහසකට ආසන්න පිරිසක් දෛනිකව වාර්තා වෙමින් තිබෙන අතර, දෛනික මරණ සංඛ්‍යාවද සීයකට ආසන්න වෙමින් තිබෙනවා.

පසුගිය දින 13 ක කාලය තුළ පමණක් කොරෝනා මරණ දහසකට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා.

අවසන් තීරණයට සාකච්ඡාවක්

මේ අතර, බොහෝ රෝහල්වල මෘත ශරීරාගාර ද කොවිඩ් මෘතදේහ වලින් පිරී ගොස් ඇති අතර, රෝහල්වල වාට්ටු ද කොවිඩ් රෝගීන්ගෙන් පිරී පවතින බව අප වාර්තාකරුවන් පැවසුවා.

මේ තත්වය තුළ රෝහල් ධාරිතාවට දරාගත නොහැකි මට්ටමට රෝගීන් වාර්තා වෙමින් තිබෙන බැවින්, රෝගීන් වාර්තා වීම අවම කර ගැනීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග වලට යාම අත්‍යවශ්‍ය බව ද සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දී ඇතැයි දැනගන්නට තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කර සිටියේ දැනට පවතින තත්වය පිළිබඳ සියලු පාර්ශ්ව එකතු වී සාකච්චා කර අවසන් තීරණයක් ගන්නා බවයි

Rate this item
(11 votes)
Last modified on Tuesday, 10 August 2021 14:08