May 18, 2024

පොලිස් ඇමතිගේ කෑලි ගැලවෙන සාස්තරකරුවෙකුගේ අනාවැකිය

හිටි හැටියේම මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර මහතාගේ අමාත්‍යාංශය යටතේ තිබූ ආයතන 4න් 2ක් ජනපතිවරයා විසින් විශේෂ ගැසට් නිවේදනයක් මඟින් තමන් යටතේ ඇති ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගත්තා.

සාස්තරකරුවෙකුගේ අනාවැකියක් පත්තු වීම

මේ පවරා ගැනීම පිටුපස ශාස්ත්‍රකාරයෙකු වීරසේකර මහතාට කියපු අනාවැකියක කතාවක්ද තිබෙන බවයි දේශපාලන ක්ෂේත්‍රයේ යමින් තිබෙන කසුකුසුව වන්නේ.

සරත් වීරසේකර මහතා 2015 මහ මැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කයෙන් පරාජය වීමෙන් පසු කොළඹ දිස්ත්‍රික්කයට ගෙනැවිත් පසුගිය මහ මැතිවරණයේදී විමල් වීරවංශ මහතාවත් අභිබවා යමින් කොළඹින් මනාප ලැයිස්තුවේ අංක 1ට ගෙන ඒමට පොදුජන පෙරමුණේ ප්‍රබලයන් කටයුතු කළ බව ප්‍රසිද්ධ රහසක්.

එතනින් නොනැවතුණු පොදුජන පෙරමුණේ තීන්දු තීරණ ගන්නන් වීරසේකර මහතාට කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන අනිකුත් අමාත්‍යවරුන්ටත් වඩා ප්‍රබලම අමාත්‍ය ධුරයක් වන මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යධූරය ලබා දුන්නේ ඔහු පිළිබඳව තිබූ විශ්වාසය නිසයි.

තැබූ විශ්වාසය කඩ කිරීම

එහෙත් මේ වන විට දැනගන්නට තිබෙන තොරතුරු වලට අනුව වීරසේකර මහතා සම්බන්ධයෙන් පොදුජන පෙරමුණේ තීන්දු තීරණ ගන්නා ප්‍රබලයන්ගේ විශ්වාසය සහමුලින්ම බිඳ වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව ලෙස දැනගන්නට තිබෙන්නේ වීරසේකර මහතාගේ උපන් වෙලාවට අනුව රටේ ජනපති වීම සඳහා ඔහුගේ වේලාව බලවත් බවට නක්ශාස්ත්‍රකරුවෙකු වීරසේකර මහතාට කළ දැනුම් දීමක් විශ්වාස කොට ඒ සඳහා වීරසේකර මහතා පසුගිය කාලයේ කළ වැඩ කටයුතු කිහිපයක් හෙළිදරව් වී තිබීමයි.

ඇමතිකම භාර දෙන කොට ආයතන 5යි දැන් 2 යි

සරත් වීරසේකර මහතාට මහජන ආරක්ෂක කැබිනට් අමාත්‍ය ධූරය බාර දුන්නේ මීට ටික කලකට පමණ පෙර වන අතර ඊට ආයතන 5ක් ඇතුළත්ව තිබුණා.

මීට ටික කලකට පෙර වීරසේකර මහතා යටතේ තිබූ ප්‍රජා පොලිස් සේවය ඔහුගෙන් ඉවත් කර දිලුම් අමුණුගම රාජ්‍ය අමාත්‍යවරයාට ගැසට් නිවේදනයක් මගින් ලබා දුන්නා.

එහි උණුසුම මැකී යාමත් සමග මීට දින දෙකකට පෙර වීරසේකර මහතා යටතේ තිබූ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය බලකා දෙපාර්තමේන්තුව වීරසේකර මහතාගේ ඉවත් කළ අතර දැනට ඔහුට ඉතිරිව තිබෙන්නේ ශ්‍රී ලංකා පොලීසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණයි.

කැබිනට් සංශෝධනයේදී ප්‍රමුඛතාව

ලබන අගෝස්තු මස නිශ්චිතවම සිදුවනු ඇති බවට විශ්වාස කෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී වීරසේකර මහතාගේ අමාත්‍යංශය ස්ථිර ලෙසම සංශෝධනය වීමට නියමිත අතර බොහෝ විට ඔහු යළිත් රාජ්‍ය අමාත්‍ය ධුරයකට පමණක් සීමා වීමටද ඉඩ තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

විශේෂයෙන්ම 30 දෙනකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයට දක්ෂ තරුණ රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු අලුතින් කිහිපදෙනකු ඇතුලත් කරගැනීමට ජනපතිවරයාට අවශ්‍යව තිබෙන හෙයින් ඒ සඳහා අවශ්‍ය ඉඩකඩ සලසා ගැනීම ගැනද ආණ්ඩුවෙි අවධානය යොමුව තිබෙනවා.

මේ වන විට ජනපතිවරයා හැරුණු කොට කැබිනට් මණ්ඩලය නියෝජනය කරන අමාත්‍ය වරුන්ගේ සංඛ්‍යාව 28ක්.

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 August 2021 10:05

Related items