April 30, 2024

ගම්මන්පිලත් හොල්මන් කළ තුනෙන් දෙකේ සහතිකය

විශ්වාසභංග යෝජනාවේදී ඊට විරුද්ධව මන්ත්‍රීවරු 150කට වැඩි පිරිසකගේ සහය ලබාදෙන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට ආණ්ඩුවේ ප්‍රබලයකු පොරොන්දු වී ඇති බවයි ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

ආන්ඩුවේ සංයුතිය හා සසදද්දී විශ්වාසභංග යෝජනාව ජය ගැනීමට නොහැකි බව එය ඉදිරිපත් කළ සමගි ජන බලවේගය මෙන්ම ආණ්ඩුවත් දැන සිටියා.

තුනෙන් දෙකෙන් පරාජය කිරීම

එහෙත් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට වඩා සහයෝගයෙන් විශ්වාසභංග යෝජනාව පරාජය කිරීම ආණ්ඩුවේ ශක්තිය පෙන්වීමක් වන නිසා ආණ්ඩුවේ අවධානය ඒ සඳහා යොමුවී තිබුණේ.

එහි වගකීම ගෙන තිබෙන්නේ නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා බවයි වාර්තා වන්නේ.

20 වැනිදා උදේ උදයට දුන්න සහතිකය

පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට විශ්වාසභංග යෝජනාවට ඡන්දය විමසූ ඉකුත් 20 වැනි දින උදෑසන එම සහතිකය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විසින් ගම්මන්පිල අමාත්‍යවරයාට ලබාදී තිබෙනවා.

ඡන්දය ගැනීමට පෙර බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයාට ගම්මන්පිල අමාත්‍යවරයා මුණගැසී ඇති අතර එහිදී රාජපක්ෂ අමාත්‍යවරයා ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් විමසා තිබෙන්නේ "මොකද කලබලෙන් වගේ" කියාය.

ඊට පිළිතුර ලෙස ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කොට ඇත්තේ තමන් තමන්ගේ පිළිතුරු කතාව හදා ගැනීම සඳහා "පොඩ්ඩක් එළියට ගියා" ලෙසයි.

කතාව කළත් නොකළත් තුනෙන් දෙක ඇති

"බයවෙන්න දෙයක් නැහැ.කතාව කලත් නොකලත් මම තුනෙන් දෙක ලෑස්ති කරලයි තියෙන්නේ."යයි ඊට පිළිතුර ලෙස බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ගම්මන්පිල අමාත්‍යවරයාට සහතිකයක් දී තිබෙනවා.

ඡන්දය ගනිද්දී බැසිල් රාජපක්ෂ මහතා දුන් සහතිකය තහවුරු කරමින් ගම්මංපිල අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංගයට විරුද්ධව ඡන්ද 152 ක් ලැබුණා.

උදය ගම්මන්පිල , විමල් වීරවංශ හා වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරයා ඇතුළු පිරිසක් බැසිල් රාජපක්ෂ මහතා සමග යම් මත ගැටුමක් තිබෙන බවත් ප්‍රකට කරුණක්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 July 2021 11:25