May 02, 2024

මරික්කාර් විශ්වාසභංගය අනා ගනී

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අද (19) සමගි ජන බලවේගය ආරම්භ කළේ බරපතල අත්වැරදීමක් සමඟයි.

ඒ එම විශ්වාසභංග යෝජනාව සභාගත කිරිමේ වගකීම පැවරී තිබූ එස්.එම්.මරික්කාර් මන්ත්‍රීවරයා අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකොට කතාවක් පැවැත්වීම නිසාය.

සම්මත කිරීමට යෝජනාවක් නැති වීම

ඒ නිසා එම යෝජනාව සම්මත කිරීමේ වගකීම පැවරී තිබූ කබීර් හෂීම් මන්ත්‍රීවරයා අපහසුතාවයට පත්වුයේ ඔහුට සම්මත කිරීමට යෝජනාවක් මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිපත් නොකිරීම නිසාය.

මරික්කාර් මන්ත්‍රීවරයාගේ මෙම අතපසුවීම ප්‍රථමයෙන්ම සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා පෙන්වා දුන් අතර ඉන් පසු ඊට විමල් වීරවංශ සහ ප්‍රසන්න රණතුංග යන අමාත්‍යවරුන්ගේ සහයද ලැබුනි.

දෙවන වරටත් යෝජනාව ඉදිරිපත් කිරීම

කෙසේ වෙතත් කතානායකවරයා තීරණය කළේ සිදු වූ වැරැද්ද පිළිගෙන යළිත් එම යෝජනාව ඉදිරිපත් කිරීමට මරික්කාර් මන්ත්‍රීවරයාට අවස්ථාව ලබා දීමටයි.

ඒ අනුව මරික්කාර් මන්ත්‍රීවරයා යළිත් වතාවක් විනාඩි 5ක පමණ කාලයක් ගෙන අදාල විශ්වාසභංග යෝජනාව සභාවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තා.

ඉන් අනතුරුවයි කබීර් හෂීම් මන්ත්‍රීවරයාට දෙවන වරටත් සභාව අමතමින් මරික්කාර් මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව සම්මත කිරීමට අවස්ථාව ලැබුණේ.

Rate this item
(0 votes)