May 18, 2024

18ට වැඩි අයට හමුදා කඳවුරු තුළ පුහුණුවක් - පොලිස් ඇමතිගේ යෝජනාව යළිත්

වයස අවුරුදු 18ට වැඩි සියළු පුද්ගලයින්ට හමුදා කඳවුරු තුළ පුහුණුවක් ලබා දිය යුතු බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ පානදුර, අලුබෝමුල්ල සහ හිරණ පොලිස් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

වර්තමානයේදී මෙරට පුද්ගලයින්ගේ විනය පිරිහීමට ලක්වී ඇති බව පවසන ඔහු පෙන්වා දෙන්නේ විනයගරුක සමාජයක් ඇතිකිරීම සඳහා හමුදා කඳවුරක් තුළ පුහුණුවක් ලබා දිය යුතු බව යි.

වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයින් හට හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට තමන් මීට පෙර පාර්ලිමේන්තුවේ දී ද අදහස් පළ කළ බවත් එහි දී තමන්ට බොහෝ සෙයින් අපහාස ඇසීමට සිදු වූ බවත් ඔහු සිහිපත් කළා.

හමුදා පුහුණුවක් ලබා දිය යුතු බවට තමන් පැවසූ විට එය “මිලිටරිකාරයෙක්” නිර්මාණය කිරීමේ පුහුණුවක් බවට ඇතැමුන් චෝදනා නගන නමුත් තමන් අදහස් කළේ එවැන්නෙකු බිහි කිරීමේ පුහුණුවක් නොවන බව අමාත්‍යවරයා අවධාරණය කළා.

වයස 18න් ඉහළ පුද්ගලයින්ට යම් පුහුණුවක් ලබා දෙන්නේ නම් ඊට සුදුසුම ස්ථානය වන්නේ විනයක්, හික්මීමක් සහ පහසුකම් සහිත හමුදා කඳවුර බව යි ඔහු පෙන්වා දෙන්නේ.

පෞර්ෂත්වය සහ නායකත්ව ගුණාංග වැඩිදියුණු කරන පාඨමාලාවක් ලබා දීම මගින් ක්‍රමක්‍රමයෙන් විනයගරුක සමාජයක් බිහිකිරීමට හැකිවනු ඇති බව ඔහු ප්‍රකාශ කළා.

ඒ හරහා ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ සමාජයක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බව ද අමාත්‍ය වීරසේකර මහතා පෙන්වා දුන්නා.

Rate this item
(2 votes)
Last modified on Friday, 16 July 2021 15:04

Related items