May 02, 2024

ගම්මන්පිල නඩු මගට - තමන් ගැන බොරු කියන අයට පළමු වෙඩි මුරය තබයි

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාට එරෙහිව තමන් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සූදානම්වන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා.

ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේ මේවන විටත් මන්ත්‍රීවරයාගෙන් වන්දි ඉල්ලා එන්තරවාසියක් යැවීමට කටයුතු කර ඇති බව යි.

අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

කබීර් හෂීම් මන්ත්‍රීවරයා පසුගිය මස 18 වැනි දා මාධ්‍ය හමුවක් අතරතුර තමන් පිළිබඳ අසත්‍ය ප්‍රකාශ කිහිපයක්ම සිදු කළ බව උදය ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්මන්පිල අමාත්‍යවරයා මෙලෙස පැහැදිළි කළා.

"එතුමා කියනවා මම අපේ අනන්‍යතාවය චීන සමාගමකට පවරලාලු. කෝටි 1000ක තෙල් ටැංකි හදන්න යනවලු. තෙල් පිරිපහදුවේ අයිතිය විදේශිකයන්ට ලබා දෙන්න අමාත්‍ය මණඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළාලු. තෙල් ගේන්න සල්ලි නෑ කියලා මම බොරු කියනවලු. මම එතුමාට කියන්නෙ, එක්කෝ ඔබතුමා කියන්නේ ඇත්ත කියලා ඔප්පු කරන්න; නැතිනම් බොරු කියලා මට සිදුවුණු අපහාසයට වන්දි විදිහට රුපියල් මිලියන 500ක් සති 02ක් ඇතුළත මට ගෙවන්න කියලා මම කබීර් හෂීම් මන්ත්‍රීතුමාට එන්තරවාසියක් යැව්වා."

ගම්මන්පිල මහතා වැඩිදුරටත් අනාවරණය කළේ තමන්ට මිලියන 500ක් ගෙවන ලෙසට වූ එන්තරවාසිය යවා හෙට (13) දිනයට සති දෙකක් සම්පූර්ණවන බව යි.

ගම්මන්පිල මහතා අවසානයේ දී මෙලෙස ප්‍රකාශ කොට සිටියා.

"මිලියන 500 අරගෙන මාව හම්බවෙන්න ආවේ නැති වුණොත්, කබීර් හෂීම් මැතිතුමනි, අපි කොළඹ දිසා අධිකරණයේ දී හමුවෙමු කියන්නයි අපි අද මාධ්‍ය හමුව කැඳෙව්වේ"

Rate this item
(1 Vote)
Last modified on Monday, 12 July 2021 13:38