May 11, 2024

ලෙඩ වෙලා ඉන්න වාසුට, බැසිල් නිසා තවත් ලෙඩක්

මේ වන විට අසනීප තත්ත්වයක් හේතුවෙන් විවේක ගනිමින් සිටින වාසුදේව නානයක්කාර නානයක්කාර අමාත්‍යවරයාට බැසිල් රාජපක්ෂ මහතා මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමත් සමඟ තවත් ලෙඩක් වැටෙන බවක් පෙනෙන්නට තිබෙනවා.

මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතාට ඔහුගේ අමාත්‍ය ධුර ජ්‍යෙෂ්ඨත්වයට අනුව ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක් හිමිවීමට නියමිතය.

වාසුගේ අසුන නැතිවන ලකුණු

ඒ සඳහා  ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් පෙළේ අවසාන අසුන වන 20 වැනි අසුන හිමි වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාගේ ආසනය ලබා දීමට සිදුවනු ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේ වුවහොත් වාසුදේව නානයක්කාර අමාත්‍යවරයාට ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ අසුනකට යාමට සිදුවනවා.

අමාත්‍යධූරයෙන් කනිෂ්ඨයෙකු වීම

ඒ වාසුදේව නානායක්කාර මහතා පක්ෂ නායකයකු වුවත් අමාත්‍ය ධූරයෙන් කනිෂ්ඨයෙකු වීම නිසාය.

1970 මුල් වරට මහින්ද රාජපක්ෂ මහතා සමග සම කාලීනව පාර්ලිමේන්තුවට පැමිණි වාසුදේව නානයක්කාර මහතා වරින්වර ඉතා දිගු කලක් පාර්ලිමේන්තුව මෙන්ම ආණ්ඩු පක්ෂද නියෝජනය කළ මුත් කැබිනට් අමාත්‍ය ධුරයක් හිමිවූයේ 2020 අගෝස්තු 17 පැවති මහ මැතිවරණයෙන් පසුවය.

රතන හිමියන්ද අසුන ඉල්ලීම

මීට මාස කිහිපයකට පෙර අපේ ජන බල පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත්වූ පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද ආණ්ඩු පක්ෂයට සහාය දීම සඳහා කැමැත්ත පල කිරීමේදී පක්ෂ නායකයෙකු ලෙස ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ඉල්ලා සිටි අතර ඒ සඳහා යෝජනා වූයේද වාසුදේව නානයක්කාර නානායක්කාර මහතාට හිමි අසුනය.

එහෙත් ඒ අවස්ථාවේ වාසුදේව නානායක්කාර මහතා සිය ඉදිරිපෙළ අසුන ලබාදී දෙවැනි පෙළට යාම තරයේම ප්‍රතික්ෂේප කළා.

මේ නිසා පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවට සහාය දැක්වුවද විපක්ෂයේ ඉදිරි පෙළ අසුනක් ලබා දීමටයි සිදුවුණේ.

සන්ධානගත පක්ෂ වලට හිමි ඉදිරිපෙළ ආසන

ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුන් 20න් අසුන් 6ක් හිමිව තිබෙන්නේ පොදුජන පෙරමුණ සන්ධානයේ සන්ධානගත පක්ෂවලටය.

ඒ අනුව එම අසුන්වල අමාත්‍යවරයෙකු නොවුණද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ එම පක්ෂයට හිමි කැබිනට් මණ්ඩල අමාත්‍යධුර උසුලන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර යන මහත්වරුන්ද , ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ අමාත්‍යවරයාද , ඊ.පී.ඩී.පී සංවිධානයේ නායක ඩග්ලස් දේවානන්දා අමාත්‍යවරයාද , නව වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාද අසුන් ගෙන තිබෙන අතර ඉතිරි අසුන් 14ම හිමිව තිබෙන්නේ පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන්ටය.

බැසිල් විරෝධී පිලේ සාමාජිකයෙක්

වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා බැසිල් රාජපක්ෂ මහතාට ඉතා සමීප පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු බැසිල් රාජපක්ෂ හිතවාදීන් සමග ගැටුම් ඇති කරගෙන තිබෙන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නියෝජනය කරන පොදුජන පෙරමුණ සන්ධානයේ විකල්ප පක්ෂ හා සංවිධාන 12 ප්‍රධාන පෙළේ නායකයෙකුද වනවා.

බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස ඉතා නුදුරේදීම දිවුරුම් දීමට නියමිත අතර ඒ සඳහා අවස්ථාව ලබා දීමට පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා මේ වන විටත් ඉල්ලා අස්වී තිබෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 08 July 2021 01:10