May 02, 2024

ශානි වෙනුවෙන් ජාත්‍යන්තරය පෙරට - පොලිස්පතිටත් ලිපියක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සිය වසර 35ක සේවා කාලය නිම කරමින් පෙරේදා (30) විශ්‍රාම ලබාගත්තා.

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාව මත පසුගිය වසරේ දී කොළඹ අපරාධ විමර්ශන අංශය විසින් ඔහුව අත්අඩංගුවට ගත් අතර පසුගිය දා ඔහු මුදාහැරුණේ ඇප මත යි.

මේ අතර තම ජීවිතයට තර්ජනයක් එල්ල වී ඇති බව සඳහන් කරමින් අබේසේකර මහතා පොලිස්පතිවරයා සහ මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යවා ඇති බව වාර්තා වෙනවා.

ඔහු ඉන් ඉල්ලා ඇත්තේ තමන් වෙත පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස යි.

මේ අතර පුවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ශානි අබේසේකර මහතාට දේශපාලන රැකවරණ දීමට ස්විට්සර්ලන්තය, ඇමෙරිකාව සහ යුරෝපා සංගමය ඉදිරිපත් වී ඇති බවයි.

වයස අවුරුදු 60ක්වන අබේසේකර මහතා පොලිස් සේවාවට එක් වූයේ 1986 වසරේ දී යි.

ශානි අබේසේකර මහතා මෙරට ප්‍රබලතම අපරාධ රැසක විමර්ශන සිදු කිරීමේ නිලධාරියා ලෙස කටයුතු කර ඇති අතර උඩතලවින්න ඝාතනය, රෝයල් පාක් ඝාතනය, හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය, රේගු අධිකාරි සුජිත් ප්‍රසන්න පෙර්රා ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, රතුපස්වල ඝාතන සිදුවීම සහ හිටපු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනය වැනි අපරාධ පිළිබඳ සිදු කළ පරීක්ෂණ ඒ අතුරින් කැපී පෙණුනා.

Rate this item
(4 votes)
Last modified on Friday, 02 July 2021 10:37