April 30, 2024

විමල් හා උදයට අත තැබූ බැසිල් පිල වාසු ගැනත් තීරණයක

පොදුජන පෙරමුණ ආණ්ඩුවේ සන්ධානගත පක්ෂ හා සංවිධාන 12කින් සමන්විත විකල්ප කණ්ඩායම නියෝජනය කරන කැබිනට් ඇමතිවරුන් තිදෙනාගෙන් දෙදෙනෙකු සමග සෘජු ගැටීමක් ඇති කරගෙන තිබෙන බැසිල් රාජපක්ෂ  කණ්ඩායම තුන්වෙනි ඇමතිවරයා සම්බන්ධයෙන්ද තීන්දුවකට එළඹ තිබෙනවා.

ඒ වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා සම්බන්ධයෙනි.

ඇමතිවරුන් දෙදෙනෙකු ඉලක්කකොට ප්‍රහාර

පක්ෂ හා සංවිධාන 12 විකල්ප කණ්ඩායම නියෝජනය කණ්ඩායමට විමල් වීරවංශ , උදය ගම්මන්පිල හා වාසුදේව නානයක්කාර යන කැබිනට් අමාත්‍යවරුන් නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ , පිවිතුරු හෙළ උරුමය හා වාමාංශික පෙරමුණ යන පක්ෂද ඇතුළත්ය.

මේ වන විට බැසිල් රාජපක්ෂ මහතා නිර්මාතෘ ලෙස සැලකෙන පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ගැටුම්කාරී පිළිවෙතක් අනුගමනය කරන අතර ඒ පිටුපස සිටින්නේ බැසිල් රාජපක්ෂ මහතා බව ප්‍රකට කරුණක්.

වාසු ගැන නිහඬ පිළිවෙතක්

තවමත් බැසිල් රාජපක්ෂ කණ්ඩායම පියවරක් ගෙන නොතිබෙන්නේ වාසුදේව නානයක්කාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් පමණි.

ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට වාසුදේව නානයක්කාර මහතාගේ වයස , පාර්ලිමේන්තු හා දේශපාලන ජේෂ්ඨත්වය , ඉතිහාසය පුරාවටම ප්‍රගතිශීලී කණ්ඩායම නියෝජනය කිරීම ආදී කරුණු සියල්ලටම වඩා බැසිල් රාජපක්ෂ පිලේ අවධානය යොමු වූ විශේෂිත කරුණක් තිබෙනවා.

බැසිල්ගේ හිත ගත් වාසුගේ ප්‍රතිපත්ති

විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් මෙන් ජාතිකවාදය මුල්කොටගත් ප්‍රතිපත්තියක නානයක්කාර අමාත්‍යවරයා නොසිටීම එසේ විශේෂ අවධානයට යොමු වූ කරුණ වනවා.

විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ මහතා දැඩි විශ්වාසයක් තබා තිබෙන සුළු ජාතීන් සම්බන්ධයෙන් මෙන්ම බලය විමධ්‍යගත කිරිම ගැන දරණ ස්ථාවරයේ නානයක්කාර අමාත්‍යවරයාද දැඩිව සිටීම බැසිල් රාජපක්ෂ කඳවුරේ විශේෂ අවධානයකට ලක්ව තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

වාසු ගැන ගත් තීන්දුව

ඒ නිසා බැසිල් රාජපක්ෂ මහතාගේ ඉදිරි දේශපාලන ගමනට නානයක්කාර අමාත්‍යවරයා බාධාවක් නොවන බවට ස්ථාවරයක බැසිල් රාජපක්ෂ කණ්ඩායම සිටිනවා.

එම ස්ථාවරය තුළ ඉදිරියේදී නානයක්කාර අමාත්‍යවරයා සම්බන්ධයෙන් වීරවංශ සහ ගම්මන්පිල අමාත්‍යවරුන්ට දැක්වූ ආකාරයේ ප්‍රතිචාර නොදැක්වීමට බැසිල් පිල තීරණය කොට තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

රාජපක්ෂවරු ඇහුම් කන් දෙන ඇමැතිවරයා

දැනටත් මෙම 12 කණ්ඩායම තුළ සිටින ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් අතරින් රාජපක්ෂවරු ඇහුම්කන් දීමක් කරන්නේ නානයක්කාර මහතාගේ අදහස් වලට පමණක් බව ප්‍රකට කරුණක්.

වරාය නගර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විකල්ප 12 කණ්ඩායම වෙනුවෙන් සංශෝධන සියල්ලම ඉදිරිපත් කර තිබෙන්නේ නානයක්කාර අමාත්‍යවරයා වන අතර එම සංශෝධන වලින් අති බහුතරයක් නව පනත් කෙටුම්පතට ඇතුළත් කොට තිබෙනවා.

Rate this item
(3 votes)
Last modified on Sunday, 20 June 2021 12:22