May 02, 2024

කාන්තාවන්ට ඇති කොවිඩ් අවදානම ඉහළට Featured

මේවන විට මෙරට පැතිර යන කොවිඩ් 19 තෙවැනි රැල්ලේ සිදුව ඇති වර්ධනය ඉදිරියේ මෙරට කාන්තා මරණ සිදුවීමේ වැඩි වීමක් පෙන්නුම් කරන බව වාර්තා වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් ජාතික පුවත්පතක් වාර්තා කොට ඇත්තේ මෙලෙස මිය යන කොවිඩ් ආසාදිත කාන්තාවන්ගේ සංඛ්‍යාව සීග්‍රයෙන් වැඩි වෙමින් පවතින බව යි.

පළමු කොවිඩ් රැලිවල දී බොහෝ සෙයින් මරණයට පත් වූයේ පිරිමි පුද්ගලයින්.

එහෙත් මේවන විට කාන්තා මරණ ගණන පිරිමි මරණ ගණන හා සමාන වී ඇති බව අදාළ නිලධාරියා ප්‍රකාශ කොට තිබෙනවා.

එමෙන්ම මෙලෙස කොවිඩ් ආසාදිතව මිය යන කාන්තාවන් බොහෝ දෙනෙකු දියවැඩියාව, හෘද රෝග ආදී බෝ නොවන රෝගවලින් පෙලෙන්නන් නොවන, නීරෝගීව සිටි අය බව ද ඔහු අවධාරණය කර තිබෙන බව සඳහන්.

මේ අතර ගැබිණි හා කිරි දෙන මවුවරුන් හට ද කොවිඩ් මර්ධන එන්නත ලබා දීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යංශ නිලධාරීන් ප්‍රකාශ කළ ද එය අවිනිෂ්චිත මට්ටමක පවතින බව ද මෙම නිලධාරියා සඳහන් කර තිබෙනවා.

කොවිඩ් මර්දන එන්නත් වැඩපිළවෙල යටතේ දැනට ලබා දෙන එන්නත් වර්ග දෙක ගැබිණි හා කිරි දෙන මවුවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් සිදු කර ඇති පරීක්ෂණ වාර්තා නොමැති වීම එයට හේතුවයි.

ලෝකයේ මේවන විට සිදු කර ඇති පරීක්ෂණවලට අනුව ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්ධන අන්නත ගැබිණි මව්වරුන්ට ලබා දීම සුදුසු බව අනාවරණය වී ඇති නමුත් මෙරට තුළ මේවන විට භාවිතවන චීන ‘සයිනොෆාම්’ එන්නත සහ රුසියානු ‘ස්පුට්නික් වී’ එන්නත යන දෙක පිළිබඳව ගැබිණියන් සම්බන්ධව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි ඔහු පෙන්වා දී ඇත්තේ.

Rate this item
(0 votes)
Last modified on Sunday, 30 May 2021 08:01