May 17, 2024

ඉදිරියේදී බරපතළ ගෑස් හිඟයක් - ලාෆ් සභාපති අනතුරු අඟවයි

දේශීය වෙළඳපොලේ ගෑස් සිලින්ඩර හිඟයක් තිබෙන බව ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ.එච්.වෑගපිටිය මහතා කියයි.

ලාෆ් ගෑස් පමණක් නොව ලිට්රෝ ගෑස් හිඟයක්ද වෙළෙඳ පොළේ තිබෙන බවද පෙන්වා දෙන වෑගපිටිය මහතා ගෑස් මිල වැඩි නොකිරීම ඊට හේතුවී ඇති බවද පවසයි.

විශේෂයෙන්ම ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් සඳහා පනවා ඇති වත්මන් මිල ගණන් යටතේ ඉදිරියේදී බරපතළ ගෑස් හිඟයක් රට තුළ නිර්මාණය විය හැකි බවට වෑගපිටිය මහතා අනතුරුද අඟවයි.

මීට වසරකට පෙර ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්‍රික් ටොන් 1 මිල ඇ.ඩො 350 ක් වූ අතර මේ වන විට එය ඇ.ඩො. 650ක් දක්වා දෙගුණයකට ආසන්න සංඛ්‍යාවකින් වැඩිවී ඇති මුත් ගෑස් මිල කිසිදු වෙනසක් සිදුව නැති බැවින් සිය සමාගමට කිලෝ ග්‍රෑම් 12.5 එක් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයකින් රු.700ක පමණ පාඩුවක් විඳීමට සිදුව තිබෙන බව පෙන්වා දෙයි.

මේ ආකාරයේ පාඩුවක් ලබමින් තවදුරටත් ගෑස් ව්‍යාපාරයේ යෙදීමට නොහැකි බව වෑගපිටිය මහතාගේ අදහස වේ.

පසුගිය හය මාසය පුරාවටම ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිලට හා එම ගැස් ආනයනය කිරීමේදී යන වියදමට සරිලන ලෙස ගෑස් මිල වැඩි කර දෙන මෙන් පාරිභෝගික සේවා අධිකාරියෙන් කිහිප වතාවක්ම ඉල්ලීම් කළද ඊට කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බව වෑගපිටිය මහතා අවධාරණය කරයි.

ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය මහතා මෙම අදහස් පළ කළේ වෙළඳපොල තුළ පවතින ගෑස් සිලින්ඩර හිඟකම සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසුමකට පිළිතුරු දෙමිනි.

රජය යටතේ තිබෙන ලිට්‍රෝ ගෑස් සමාගම මෙරට වෙළඳපොලේ 75% ක හිමිකම් කියන අතර එම සමාගමද මාසිකව රු.මිලියන 900ක පාඩුවක් විඳින බවද දැන ගන්නට තිබේ

Rate this item
(0 votes)
Last modified on Friday, 07 May 2021 10:57