April 28, 2024

භාග්‍යා කී සිංහරාජ ඉඩමේ ගස් කැපූ බව මහින්ද පිලිගනී - කැපූ ගස් ගැන තොරතුරු මෙන්න Featured

සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරන බවට සඳහන් කළ ඉඩමේ ගසක් කැපූ බවට අපිට කිසිදු තොරතුරක් ලැබී නොමැති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ තංගල්ලේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

කතාබහට ලක්වෙන අදාල ඉඩමේ අයිතිය සම්බන්ධව දැනට ලැබී ඇති තොරතුරු අනුව අවුරුදු 40ක පමණ පත්තිරු පරීක්ෂාවෙන් පෞද්ගලික ඉඩමක් බවට තහවුරු වී ඇති බවත් නමුත් තමා එම කරුණු නැවතත් තහවුරු කරගන්නා ලෙස අදාල නිලධාරීන්ට දැන්වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එම ඉඩම් හිමියා වෙනුවෙන් තමා කතා නොකරන බවත් නමුත් එම ඉඩමේ ගසක් කැපූ බවට කිසිදු තොරතුරක් ලැබී නොමැති බවත් පෙන්වා දෙන අමාත්‍යවරයා යම් ඉඩම් ප්‍රමාණයක් නැවත සිංහරාජයට එකතු කරනවා නම් එය රජය ගතයුතු තීන්දුවක් බවත් දැනට වාර්තා වෙන්නේ ගෙවල් 135ක් පමණ එම ප්‍රදේශයේ පවතින බවත් කියා සිටියේය.

තේ ගස් ප්‍රමාණයක් සහ මානං ගස් ප්‍රමාණයක් කැපූ  බවට වාර්තා වී ඇති බවත් එම තොරතුරු කැබිනට් මණ්ඩලයට වාර්තා කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

අක්කර 7 ක භූමි ප්‍රදේශයකින් යුතු අදාළ ඉඩම එළිපෙහෙළි කර හෝටලයක් ඉදිකිරීමේ සූදානමක් පවතින බවට පළ වූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කරමින් එම ඉඩමේ ඔප්පුවල නිරවද්‍යතාව පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබිණි.

අදාළ ඉඩමේ තිබූ ගස් කපා දැමීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියෙන් හෝ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් අනුමැතිය ලබාදී නොමැති අතර එවැනි සිදුවීමක් සිදුවන තුරු තම රාජකාරී ඉටු නොකිරීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම ග්‍රාම නිලධාරීවරයා ද වගකිවයුතු බව මහින්ද අමරවීර අමාත්‍යවරයා මීට පෙර පෙන්වා දී තිබිණි.

කෙසේවෙතත් මෙම ඉඩම කඩිනමින් සිංහරාජ වනාන්තරයට පවරා ගැනීම රජයේ වත්මන් ස්ථාවරය වී ඇති බවද එමෙන්ම අදාළ ප්‍රදේශයේ තවත් අක්කර 1500 ක භූමි ප්‍රදේශයක් පවරා ගැනීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති අතර ඉදිරි සතිය තුළ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා සඳහන් කරයි.

Rate this item
(7 votes)