May 19, 2024

පස්සර අනතුර සිදුවූයේ RDA වරදින්ද? ප්‍රධාන ඉංජිනේරුවරයා කියන කතාව

පස්සර සිදුවූ මාරක බස් අනතුර මාර්ග සංවර්ධන අධිකාරියේ වරදක් හේතුවී ඇත්දැයි සොයාබැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්. ඩබ්ලිව්. ආර් ප්‍රේමසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු දෙදෙනෙකුද ඇතුලත්ව ඇති අතර එම කමිටු නියෝජිතයින් පසුගිය 21 වැනිදා අනතුර සිදුවූ ස්ථානයට ගොස් අදාල තොරතුරු සොයා බැලූ බව වාර්තා වේ.

මාර්ගයේ අනතුර සිදුවූ ස්ථානයට පසුගිය වසරේ නොවැම්බර් 22 වැනිදා පෙරළි ඇති ගල් පර්වතය මෙතෙක් කාලයක් ඉවත් නොකිරීමට හේතුවූ කාරණා පිළිබඳව මෙහිදී සොයා බැලීමට එම කමිටුව තීරණය කර තිබේ.

කෙසේ වෙතත් මාස හතරක් යනතුරුත් මෙම ගල් පර්වතය ඉවත් නොකිරීම හේතුවෙන් එම මාර්ගය අවහිර වී තිබූ අතර මාර්ගයේ අනතුරු සංඥා නිවැරදිව භාවිතා කර නොතිබීම ගැනද එහිදී දැඩි අවධානය යොමුව තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ බදුල්ල ප්‍රධාන ඉංජිනේරුවරයා ඒෂියන් මිරර් කළ විමසීමකදී සඳහන් කළේ පේරාදෙණිය - බදුල්ල - චෙන්කලඩි මාර්ගය මේවනවිට සංවර්ධන කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් එම මාර්ගයේ සංවර්ධන කටයුතු කොටස් වශයෙන් බෙදා අදාල කොන්ත්‍රාත් සමාගම් වෙත පවරා ඇති බවයි.

ඒ් අනුව අදාල මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සහ අනතුරු ඇඟවීම සම්බන්ධයෙන් ක්‍රියාකළ යුත්තේ අදාල කොන්ත්‍රාත් සමාගම බවත් අදාල අනතුර සිදුවූ ස්ථානයේ පැවැති ගල් පර්වතය ඉවත් කිරීම කොන්ත්‍රාත් සමාගම වීසින් කල යුතු බවත් ඉංජිනේරුවරයා පැවසී ය.

මෙම මාර්ගයේ කිලෝමීටර් 20 බැගින් වෙන්කර ඉදිකිරීම් සමාගම් වෙත පවරා ඇති බවත් මේවන විට මෙම අනතුර සිදුවූ ස්ථානය ඇතුලත් කොටසේ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකෙරෙමින් පවතින බවත් ඒ් පිළිබඳ සොයා බැලීමට මේවන විට කමිටුවක් පත් කර ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

බදුල්ල හරහා පේරාදෙනිය සිට චෙන්කලඩි දක්වා A-5 ප්‍රධාන මාර්ගය නැගෙනහිර පළාත, මධ්‍යම පළාතට සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයන් හා සම්බන්ධ ‍වේ. පළමු කාණ්ඩය යටතේ පේරාදෙණිය සිට බදුල්ල දක්වා මාර්ගය මේ වන විට ප්‍රතිංස්කරණ කටයුතු සිදු කෙරෙමින් පවතී.

Rate this item
(0 votes)