April 20, 2024

යටගිය පස්සර ඛේදවාචකයේ ඇත්ත: බලධාරීන් පැත්ත පළාතක නෑ - ජනතාව අද අන්ත අසරණයි (PHOTOS)

February 21, 2022

පසුගිය වසරේ ආන්දෝලනයට ලක්වූ පස්සර මාරක බස් අනතුර ඔබට මතක ඇති. තව දින කිහිපයකින් වසරක් සපිරෙන මොහොතේ ඒ බිහිසුණු අනතුරට මුහුණ දුන් ජනතාව සොයා ගිය ඒෂියන් මිරර් ගමනේ දැක ගන්නට හැකි වූයේ ඉතා දුක්බර කතාවක්.

අද ඒ ජනතාව අන්ත අසරණ තත්වයට පත් වෙලා. ඔවුන් ගැන සොයා බලන්න රජයේ බලධාරීන් කටයුතු කර නෑ. ඒ වගේම එවන් අනතුරු නොවන්නට වගබලා ගන්නා නිසි වැඩපිළිවෙලක් දැන්වත් සකස් කර තිබේද යන්නද ගැටලුවක්. 

බදුල්ල ඒෂියන් මිරර් වාර්තාකරු එම ජනතාව සොයා ගිය ගමන මෙසේ දිගහරින්නෙමු.

2021.03.20 වන දින ලුණුගල පස්සර ප්‍රධාන මාර්ගයේ පස්සර 13 කණුව ප්‍රදේශයේදී ලුණුගල සිට කොළඹ දක්වා ධාවනයවූ UPND 6448 අංක දරන බස් රථය අඩි 250ක් පමණ ප්‍රපාතයකට පෙරලීමෙන් 14 දෙනෙකු මියගොස් 31 දෙනෙකුට තුවාල සිදුවූ අතර මේ වන විට වසරකට ආසන්න කාලයක් ගතව ඇති නමුත් ඔවුන් සදහා සාධාරණ වන්දි මුදලක් ලැබී නොමැති බවට මියගිය අයගේ ඥාතීන් මෙන්ම තුවාලවූ පිරිස් අප සමඟ පැවසුවා.

මෙම අනතුර සිදුවූ ස්ථානයේ මාර්ගයේ එක් අන්තයකට පෙරලී තිබුණු විශාල ගලක් හේතුවෙන් මාර්ගය පටුවීම හා ඉදිරියෙන් පැමිණි ලොරි රථයක් නිසා මාර්ගය අවහිර වීම සහ බස් රථයේ රියදුරුගේ නොසැලකිලිමත් රිය ධාවනයෙන් අනතුර සිදුවූ බවට තුවාලකරුවන් චෝදනා කරනවා.

RDA නිහඩයි

මෙම මාර්ගයට වැටී තිබුණු ගල ඉවත් නොකිරීම ඇතුලු කරුණු ගණනාවක් විමසා 2021.12.01 වන දිනෙන් තොරතුරු දැනගැනීමේ පනතට අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයේ තොරතුරු නිළධාරියා වෙත යවන ලද ලිපියට පිළිතුරු ලෙස 2021.12.28 දිනෙන් එවන ලද ලිපියෙන් සදහන් කර ඇත්තේ අදාල ලිපියට පිලිතුරු සැපයීමට කරුණු දැනගැනීම සදහා එම ලිපිය ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට යවා ඇති බවත් දින 14ක් ඇතුලත තොරතුරු ලබාදෙන ලෙසත්ය.

නමුත් එම ලිපියට අනුව කිසිදු තොරතුරක් නොලැබීමෙන් අනතුරුව තවදුරටත් 2022.01.24 දිනෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු නිළධාරියා විසින් නැවතත් ඌව පළාත් අධ්‍යක්ෂක වෙත සිහි කැදවීමක් කර තිබෙනවා. එනමුත් මේ වනතෙක් එම ලිපියටද පිලිතුරක් නොමැත.

ඒ අනුව තොරතුරු දැනගැනීමේ පනතට අනුව බත්තරමුල්ල මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීම් සිදුකර  මේ වන විට දින 50කට ආසන්න කාලයක් ගත වුවද එහි කිසිදු තොරතුරක් ලබාදීමට මාර්ග සංවර්ධන අධිකාරියේ තොරතුරු මධ්‍යස්ථානයේ තොරතුරු නිළධාරියා අපොහොසත්ව තිබෙනවා.

මේ අනුව පැහැදිලි වන්නේ ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂකවරයා විසින් පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ අනතුර පිලිබදව හෝ මාර්ගයට වැටී තිබුණු ගල සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලය දැනුවත් කර නොමැති බව නොවේදැයි ප්‍රශ්නාර්ථයක්.

එමෙන්ම ප්‍රධාන කාර්යාලයෙන් එවන ලද ලිපි දෙකකට පිළිතුරු පවා ලබා නොදෙන තත්වයක් යටතේ අගතියට පත්වූ පාර්ශවයකට යම් සාධාරණයක් සිදුවෙතැයි සිතිය හැකිද යන්න ප්‍රශ්නයක් බවට පත්ව තිබෙනවා. 

ඒ අනුව පෙනී යන කරුණ වන්නේ මෙම අගතියට පක්වූ පාර්ශවයන් කෙරෙහි නිසි අවධානයක් යොමුකොට නොමැති බව නොවේද? 

වන්දිය 15000යි

මෙම අනතුරට මුහුණ දුන් ආරුමුගම් තුෂාන්තන් මහතා මෙසේ අදහස් පළ කළා.

"මෙම අනතුරින් මගේ බිරිදගේ පියා තුවාල වුණා. දැන් මේ දේ වෙලා අවුරුද්දකට කිට්ටුයි. වන්දි මුදලක් කියලා අපිට ලැබුනේ පළාත් සභාවෙන් දීපු රුපියල් 15000ක් සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සලයක් විතරයි. මාමා වත්තේ වැඩ කලා. පස්සේ කුලී වැඩක් තමයි කලේ. දැන් මාස ගාණක් මොනවත් කරගන්න බැරුව එක්තැන් වෙලයි ඉන්නේ. මටත් දරුවන් දෙන්නෙක් ඉන්නවා. මමත් ස්ථිර රැකියාවක් කරන්නේ නැහැ. ඉතින් අපිට හරිම අමාරුයි ජීවිතේ ගෙනියන්න.

"මේ අනතුර වෙන්න මූලිකම කාරණය තමයි පාරට වැටිලා තිබුණු ගල ඉවත් නොකිරීම. ඒ නිසා තමයි අනතුර වුණේ. ඒ නිසා අපි කියන්නේ මේකට වගකිවයුතු ආයතනය විසින් අපිට වන්දියක් ලබාදිය යුතුයි. මාස ගණනාවක් යනතෙක් මාර්ගයට වැටිලා තිබුණු ගල ඉවත් කලේ නැහැ. හැබැයි අනතුර වෙලා දවස් පහයි ගියේ ගල ඉවත් කලා. එම නිසා මාර්ග සංවර්ධන අධිකාරිය වගේම මාර්ගය සංවර්ධනය කල අදාල සමාගම මෙම අනතුරට වග කියන්න ඕනි. අනතුර සිදුවෙලා මාස එකොලහක් යනතෙක්ම කිසිදු කෙනෙක් අපි දිහා බැලුවේ නැහැ. පොඩි අහංසක මිනිහට තමයි මේ හැම අසාධාරණයක්ම." යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියා.

අනතුර වූ තැනින් බස් 51ක් ධාවනයේ

ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය විසින් තොරතුරු පනත යටතේ ලබාදෙන ලද 2021.12.06 වන දින එවන ලද ලිපියට අනුව අනතුර සිදුවූ ස්ථානය පසුකරමින් එක් දිනෙකදී බස් රථ 51ක් ධාවනය කෙරෙන බව සදහන්.

මෙතරම් බස් රථ ප්‍රමාණයක් දෛනිකව ධාවනය සිදු කරද්දීත් මාර්ගයට වැටී තිබුණු ගල සම්බන්ධයෙන් ඌව පළාත් මගී ප්‍රවාහන සේවා අධිකාරිය හැටියට මාර්ග සංවර්ධන අධිකාරිය වෙතට කරුණු දැක්වීම කෙරෙහිද අවධානයක් යොමු කොට නොමැති තත්වයක්ද දක්නට ලැබෙනවා.

 තවද එම ලිපියෙන් දක්වා ඇත්තේ අනතුරින් මියගිය පුද්ගලයින්ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් රුපියල් 25,000ක බැගින් සහ තුවාලකරු‍වෙක්ට රුපියල් 15,000ක් වන පරිදි සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් වෙනුවෙන් රුපියල් 1183.80ක් වශයෙන් පමණක් ගෙවා ඇති බවයි.

ඒ අනුව කිසිදු වෙනත් වන්දි මුදලක් ලැබී නොමැති බවද පැහැදිලි වෙයි.

බස් රථයට අන්තිමට නැගපු කෙනා

මේ අකර සෙල්වරත්නම් සුදර්ශන් මහතා අදහස් පළ කරමින් මෙසේ සඳහන් කළා.

"මම තමයි මේ බස් රථයට අන්තිමට නැගපු කෙනා. ටිකට් එකට සල්ලි දීලා පර්ස් එක සාක්කුවට දාගන්න ලැබුණේ නැහැ. මම දැක්කා බස් එක ගමන් කරන පැත්තේ සුදුපාට ටිපර් එකක් නවත්තලා තියෙනවා. ඒත් එක්කම බස් එක පෙරලෙනවා මතකයි. ඊට පස්සේ මට කිසිම දෙයක් මතක නැහැ. සිහිය එනකොට මම හිටියේ බදුල්ල මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ. එදා ඉදන් මේ වන තෙක් මම ඉන්නේ ඉනෙන් පහල පන නැතිවයි.  

මේ මාස ගණන ගෙවුනේ හරිම අභාග්‍ය සම්පන්න විදිහටයි. මම හොද රැකියාවක් කලා. ඒ වගේම හොද වැටුපකුත් ලැබුණා. අනතුරින් පස්සේ මගේ රැකියාව අහිමි වුණා. බෙහෙත් වලටයි පවුලේ වියදමටයි ඉතුරුකරගත් මුදල් සේරම වගේම තිබුණු රත්තරන් බඩු පවා විකුනන්න සිදුවුණා. ඒත් මම තවමත් ආබාධිතයි. මම නැවත යථා තත්වයට කවදා එයිද කියා දන්නේ නැහැ. මට දරුවන් දෙදෙනෙක් ඉන්නවා. ඒ අය තවම පෙර පාසැල්වත් ගිහින් නැහැ. අපේ පවුලේ ඉදිරි අනාගතය ගැන හිතන්නවත් බැරි තත්වයකටයි අද මම පත් වෙලා ඉන්නේ."

"අපිට පොලීසියෙන් කියලා තියෙනවා මෙම අනතුර සම්බන්ධයෙන් වන්දි නඩුවක් දාන්න කියලා. රෝද පුටුවක් උඩට වෙලා ඉන්න මම කොහොමද නඩු දාලා වන්දි ඉල්ලන්නේ." යැයි සුදර්ශන් මහතා කියා සිටියා.

අනතුරට වග කියන පාර්ශව

"මේ අනතුරට වග කියන පාර්ශව කීපයක් තියෙනවා. එකක් තමයි මාර්ග සංවර්ධන අධිකාරිය. එයාලා මාර්ගයට වැටිලා තිබුණු ගල ඉවත් කරලා තිබුණා නම් අනතුර සිදුවන්නේ නැහැ. ඒ වගේම තමයි බස් රථ රියදුරුගේ නොසැලකිල්ල. අනිත් දිසාවෙන් ආපු ලොරියේ රියදුරුත් මෙම අනතුරට වග කියන්න ඕනි. ඉතින් මේ පාර්ශව අපේ අහිංසක ජීවිත වලට වග කියන්න ඕනි. ඒ නිසා එයාලා අපිට වන්දි මුදලක් දිය යුතුයි. අපි බස් එකේ ගමන් කිරීම වරදක් නෙවෙයි.

කෙසේ වෙතත් බස් රථය රක්ෂණය කිරීම අනිවාර්යයි. එම රක්ෂණය හරහා හෝ අපිට වන්දියක් දිය යුතුයි. හෙට දවස ගැන අපිට කිසිදු අරමුණක් නැහැ. නැවත ජීවිතය පටන් ගන්න නම් අපිට සාධාරණ වන්දි මුදලක් ලැබිය යුතුයි. එය ලබා දෙන්න කටයුතු කරන්න කියලා අදාල පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා." යැයි ඔහු වැඩිදුරටත් පැවසුවා.

පොලීසියෙන් ලිපියක්

2021.03.20 වන දින පස්සර 13 කණුව ප්‍රදේශයේදී සිදුවූ මාරක බස් අනතුරට අදාලව පස්සර අධිකරණයේ නඩු අංක 41190 යටතේ අපරාධ නඩුවක් විභාග වන බැවින් එම අනතුරින් තුවාල ලැබූ අය වන්දි අපේක්ෂා කරන්නේ නම් සිද්ධිය සිදුවූ දින සිට වසර 02ක් ඇතුලත බදුල්ල දිසා අධිකරණයේ නඩුවක් ගොනු කරන ලෙසට 2021.08.17 දිනෙන් පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ආර්. එම්. පාලිත සෙනෙවිරත්න මහතාගේ අත්සනින් යුකත්ව මියගිය පුද්ගලයින් හා තුවාලකරුවන් ප්‍රසිද්ධියට පත් කරමින් ලිපියක් අදාල විපතට පත්වූවන්ට එවා තිබෙනවා.

එක දේශපාලනඥයෙක්වත් නෑ

ආරුමුගම් දර්ශණී මහත්මිය එම අනතුරෙන් පසු වූ දේ ගැන මෙලෙස විස්තර කළා.

මගේ නැන්දාත් මෙම අනතුරින් තුවාල වුණා. එයාටත් තවම ඇවිද ගන්න බැහැ. එයා රැකියාව විදිහට කලේ වත්තේ තේ දලු කඩපු එකයි. අද නැන්දට රැකියාව අහිමි වෙලා. මමත් වත්තේ දලු කඩනවා. අපි වැඩ කලොත් විතරයි පඩි හම්බ වෙන්නේ. නැන්දාව තනියෙන් ගෙදර දාලා යන්න විදිහක් නැතුව සමහරදාට මට ගෙදර ඉන්න වෙලා තියෙනවා. එහෙම ඉන්න වුනාම මාසෙ අන්තිමට පඩි නැහැ. එහෙම වුනාම අපේ පවුලේ අයට කන්නවත් දෙයක් නැතුව යනවා. අපි දුප්පත් මිනිස්සු. මේ අනතුර නිසා අපි පුදුම විදිහට අසරණ වෙලයි ඉන්නේ. දැන් අපිට වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ.

ඡන්ද කාලෙට අපේ ගෙවල් වලට එන එක දේශපාලකයෙක්වත් මේ අනතුරින් පස්සේ අපේ දිහා හැරිලාවත් බැලුවේ නැහැ. මේක හරිම අසාධාරණයක්. මේ අනතුරට වග කියන්න ඕනි පාර්ශව ගණනාවක් ඉන්නවා. බස් එකේ අයිති කෙනාවත් අපි ගැන හොයලා බැලුවේ නැහැ. එයාලා බැලුවේ එයාලගේ පාඩුව විතරයි. අපිට වෙච්ච පාඩුව ගැන බැලුවේ නැහැ." යැයි ඇය සඳහන් කළා.

මෙම අනතුරට පත්වූ බස් රථය පීපල්ස් රක්ෂණ සමාගමේ රක්ෂණ ඔප්පු අංක SCTVBR 000008420 යටතේ 2021.02.01 සිට 2022.01.31 දක්වා වලංගු කාලයක්ද සහිතව රක්ෂණය කර ඇති බවත් බස් රථය ධාවනය සදහා අදාල මගී සේවා අවසර පත්‍ර අංක 13409 බවත් අවසරපත්‍රය හිමි මාර්ගය ලෙසට කොළඹ සිට ලුණුගල දක්වා ධාවනය කෙරෙන අර්ධ සුඛෝපභෝගී බස් රථයක් බවත් 2021.11.23 දිනෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ තත්ව ආරක්ෂණ හා බාහිර සම්බන්ධතා අධ්‍යක්ෂක වරයාගේ අත්සනින් නිකුත් කර ඇති ලිපියේ සදහන්. 

වගතීම් දරණ ආයතන රැසක් මැදිහත්ව බස් රථය මාර්ගයේ ධාවනයට අදාල කටයුතු කර තිබෙන නමුත් එහි ගමන්ගත් මගීන්ට සිදුවූ අවාසනාවන්ත තත්වයට සාධාරණයක් කර දීමට මේ වන තෙක් කටයුතු කර නොමැති බව පැහැදිලිව දක්නට ලැබෙන අතර, වගකිව යුතු ආයතන මැදිහත්වී මෙම අගතියට පත්වූ පාර්ශවයන්ට සාධාරණයක් කල යුතුව තිබෙනවා. එසේ නොවුනහොත් එම අසරණ පවුග් තව දුරටත් අසරණ තත්වයට පතවනු නොඅනුමානයි.

බදුල්ල - ජයලත් දිසානායක

 

Rate this item
(1 Vote)
Last modified on Monday, 21 February 2022 13:20