May 06, 2024

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ කරුණු පරස්පරයි..යළි ගොඩ එන්න නොහැකි වළක් කපාගෙන - අධිකරණය කියයි

December 24, 2020

කොවිඩ්-19 අසාදිත මෘත දේහ අදාහනයට හෝ භූමදානය කිරීමට ගන්නා තීරණය "දේශපාලනික තීන්දුවක්" නොවිය යුතු බව වත්තල මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අවධාරණය කළේය.

වගකිවයුත්තන් විටින් විට විවිධ තීරණ ගැනීම හේතුවෙන් අධිකරණය ද අපහසුතාවට පත්වී ඇති බව ඔහු පැවසීය.

මහෙස්ත්‍රාත්වරයා මේ පිළිබඳ ව අවධාරණය කළේ මහර බන්ධනාගාර ගැටුමෙන් මියගිය රැඳවියන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

මහර බන්ධනාගාරය තුළ පසුගිය දා ඇතිවූ ගැටුමින් රැඳවියන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්විණි. ඉන් අට දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බවයි මූලික පරීක්ෂණවලදී අනාවරණ විය.

බන්ධනාගාර ගැටුම පිළිබඳ නීති කෘත්‍ය කැඳවූ පසුගිය 16 වැනිදා එම අට දෙනාගෙන් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

එහිදී මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේ කොවිඩ් අසාදිත එම මෘත ශරීර ආදාහනය කරන ලෙසය.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය විසින් කොවිඩ් ආසාදිත සෙසු මළ සිරුරු හතරේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළාය.

එහිදී රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියේ එම මෘත දේහ අදාහනය කිරීමට අකමැත්තක් නැති බවට ඔවුන්ගේ සමීප ඥාතීන් ප්‍රකාශ කර ඇති බැවින් සිරුරු අදාහනය කිරීමට අවසර ලබාදෙන ලෙසය.

නමුත් අගතියටපත් පාර්ශ්වවල නීතිඥයින් ඒ පිළිබඳව සිය බලවත් විරෝධය පළ කරමින් චෝදනා කළේ විමර්ශකයින් මියගිය රැඳවියන්ගේ ඥාතින් නොමඟ යවමින් අදාහනය කිරීමට කැමැත්ත ලබාගෙන ඇති බවය.

අජීවි ශරීර තුළ කොවිඩ් වෛරසය ක්‍රියාකාරී නොවන බව ලොව විශේෂඥයින් රැසක් පවසා ඇති තත්ත්වයක ඇතැම් පිරිස් සෞඛ්‍ය ආරක්ෂක මාර්ග උපදේශවලට වසන් වී මෘත ශරීර අදාහනය කිරීමට උත්සාහ දරන බව අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසුවේය.

රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළාය.

ඒ අනුව කොවිඩ් අසාදිත මෘත ශරීර ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අධිකරණයට දැනුම් දී තිබුණි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ එම නව වාර්තාව අධ්‍යයනය කළ මහෙස්‌ත්‍රාත්වරයා පැවසුවේ, "කොවිඩ්-19 අසාදනයෙන් මියයන්නන්ගේ මෘත ශරීර භූමිදානය කරනවාද, ආදාහනය කරනවාද යන්න පිළිබඳ තීරණය ගැනීම දේශපාලනීක තීන්දුවක් නොවිය යුතුයි. එය සෞඛ්‍ය අංශ විසින් ගතයුතු තීන්දුවක්. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට පෙර ඉදිරිපත් කළ වාර්තාව සහ මේ වාර්තාවේ කරුණු පරස්පරයි. ඔහුට හිතේ එකක් තියාගෙන තව එකක් පිටතට කියන්න බැහැ. මම හිතන්නේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා යළි ගොඩ එන්න නොහැකි වළක් කපාගෙන තියෙනවා. මේ ගැටලුව නිසා අධිකරණය ඇතුළු මුළු සිස්ටම් එකම අපහසුතාවයට පත්වෙලා තියෙනවා. මෙම සිදුවීමේදි බරපතළ ගැටලුවක් මතුවෙලා තියෙනවා මෘත ශරීර අදාහනය කළහොත් අපරාධයක සාක්ෂි වසන් වෙයිද කියලා. ඒක නිසා මට මේ අවස්ථාවේදි මෙම මෘත ශරීර අදාහනය කරනවාද, භූමදානය කරනවාද කියලා තීන්දුවක් දෙන්න බැහැ. දැන් මේ වන විට සාකච්ඡාවට බඳුන්වෙලා තියෙන කොවිඩ්-19 අසාදනය වීමෙන් මියයන ඉස්ලාම් භක්තිකයන්ගේ මළසිරුරු ආදාහනය කරනවාද. භූමදානය කරනවාද කියලා බලධාරින් ගන්න නීශ්චිත තීරණයක් කඩිනමින් අධිකරණයට දැනුම් දෙන්න. අධිකරණයටත් කාලය අවශ්‍යයි මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන්න," යනුවෙනි.

ඊට අදාළ තීන්දුව දෙසැම්බර් මස 30 වන දින ප්‍රකාශ කරන බව ඉන්පසුව මහෙස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.

Rate this item
(0 votes)

Related items