May 19, 2024

දැරියක් අපයෝජනය කළ සිද්ධියකට ගුරුවරු 5ක් අත්අඩංගුවට

පාසල් දැරියක් ලිංගික අපයෝජනට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය, කොඩිකාමම් විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ගුරුවරුන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ ලිංගික අපයෝජනයට ලක්ව ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කොඩිකාමම් වාණි මහා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියකි.

එම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ පාසලේ විදුහල්පතිවරයාත් නියෝජ්‍ය විදුහල්පතිනියත් ගුරුවරයෙකු හා ගුරුවරියන් 02කුත් ඊයේ (20) අත්අඩංගුවට ගත් අතර ඔවුන් යාපනය, චාවකච්චේරි මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ බව යාපනය, කොඩිකාමම් පොලීසිය ප්‍රකාශ කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ පොලීසිය සඳහන්කළේ එම විද්‍යාලයේ විද්‍යා ගුරුවරයා වන 46 හැවිරිදි පුද්ගලයෙකු පාසල් වේලාවෙන් පසුව අමතර පන්ති පවත්වාගෙන යන අවස්ථාවේ දී අදාළ දැරිය අවස්ථා ගණනාවක දී අපයෝජනයට ලක්කොට ඇති බවට ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

තමාට සිදුවන හිරිහැරය පිළිබඳව අදාළ දැරිය තම යෙහෙළියන්ට පවසා ඇති බවත් එහිදි යෙහෙළියන් සිදුවීම සම්බන්ධයෙන් විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිනිය ඇතුළු ගුරුවරියන් දෙදෙනෙකුට පවසා ඇති බවත් එහිදී අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය හා ගුරුවරියන් දෙදෙනා සිදුවීම වසන් කිරීමට කටයුතු කොට ඇති බවත් පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.

අනතුරුව දැරිය විසින් දෙමාපියන් වෙත අදාළ කාරණය දන්වා ඇති අතර එහිදි දැරියගේ පියා විද්‍යාලයේ විදුහල්පතිවරයා වෙත සිය පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත.

එහිදී විදුහල්පතිවරයා තම පාසලට අගෞරව වන බව පවසා එම සිදුවීම වසන් කිරීමට කටයුතු කොට ඇති බව වාර්තා වේ.

ආරක්ෂක අංශ සඳහන්කළේ අදාළ සැකකාර ගුරුවරයා වෙනත් පාසලකට තාවකාලිකව මාරු කිරීමට ද විදුහල්පතිවරයා කටයුතු කොට ඇති බව ද පරීක්ෂණයන්ගෙන් හෙළි කරගත් බවයි.

අනතුරුව දැරියගේ දෙමාපියන් ළමා ආරක්ණ අධිකාරියට හා පොලීසිය වෙත පැමිණිළි කොට ඇති අතර එහිදී පොලීසිය විසින් අදාළ විද්‍යා ගුරුවරයාත්, විද්‍යාලයේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිනිය හා ගුරුවරියන් දෙදෙනාත් ළමා අපයෝජන වසන් කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් චාවකච්චේරි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර එහිදී සැකකරුවන් ජුලි මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට චාවකච්චේරි මහේස්ත‍්‍රාත් ශ‍්‍රීමති නන්දසේකරන් මහත්මිය නියෝග කළ බව වාර්තා වේ.

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 21 June 2016 13:42