April 26, 2024
Main

Main (651)

“සාර්ථක දැක්මක් - වැඩකරන රටක්“ තේමාව අනුව යමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන යන වැඩපිළිවෙල සාර්ථක කර ගැනිම සදහා තම සහාය උපරිම වශයෙන් ලබා දෙන බව මාතලේ මහනගරධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ මහතා පැවසිය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාතලේ මහනගර සභාවේ නගරාධිපති නිල කාමරයේ ඊයේ (03) දා පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා කියා සිටියේය.

“බහුතර ජනතාවගේ කැමැත්ත අනුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත් වුණා. වසර 30ක් තිස්සේ මේ රට වෙලාගෙන තිබුණු ත්‍රස්තවාදය සාර්ථකව අවසන් කිරිමට යුධ හමුදාව ප්‍රමුඛ ඒ සියලු දෙනාට නායකත්වය දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. කොළඹ නගරය ලස්සන නගරයක් බවට පත් කළා. නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඒ දේවල් සිදු කළා. වර්තමානයේදි අගමැති මහින්ද රාජපක්ෂ මහතා රජයක් ලෙස ගෙන යන වැඩපිළෙවලට අපේ උපරිම සහාය ලබා දෙනවා. ජනාධිපතිවරණයෙන් පස්සේ මාතලේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවා. මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ඇති බවට මා විශ්වාස කරනවා. මාතලේ නගරයේ මේ වන විට බස් නැවතුම්පොළවලින් නැවත අයථා විදිහට මුදල් එකතු කිරිමේ කටයුතු සිදු වෙනවා. නගරාධිපතිධුරයට පත් වුවාට පසුව මම මේ සියල්ල නවතලා තිබුණේ. අපි ක්‍රමවත් ලෙස මාර්ග තදබදය අවම කිරිම සදහා වැඩකටයුතු සිදු කළා. නමුත් වාහන නැවතිමේ තහනම් ස්ථානවල මේ වන විට වාහන නවත්වා තියනවා. විශේෂයෙන් ධර්මපාල මාවත වැනි විදිවල මේ තත්ත්වය තියනවා. නගරයක් ලෙස සංවර්ධන කටයුතු සිදු කරගෙන යන විට විවිධ අය කකුලෙන් අදිනවා. මේ පිළිබඳව මා අභිනව මධ්‍යම පළාත් ආණ්ඩුකාරතුමා වෙත දැන්වුවා. නගර සභා සේවකයින්ට මේ වන විට ඇතැම් මැර කණ්ඩායම් විසින් පහරදිමට පටන්ගෙන තියනවා. විශේෂයෙන් ඩෙංගු මර්දන කටයුතු සිදු කළ සේවකයින් වෙත පහරකැමට ලක්ව තියෙනවා. පොලීසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කළ යුතුයි. රටේ සියලු දෙනාට එක නීතියක් බවට පත් කළ යුතුයි. පසුගියදා මා හට මරණිය තර්ජන එල්ල කළ පිරිසක් විසින් ප්‍රසිද්ධියේ මේ පිළිබඳව මා පොලීසියට පැමිණිලි සිදු කළා. නමුත් තාම පරික්ෂණ පැවැත්වෙන්නේ මන්දගාමි ලෙසයි. අපි සාමකාමි ලෙස මේ නගරයේ මැතිවරණ කටයුතු පැවැත්වුවා. නමුත් මැතිවරණයෙන් පස්සේ නගරය තුළ යම් භිෂණකාරි තත්ත්වයකට මුහුණ දිමට සිදුව ඇත."

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරන්නේ යැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පුවත්පතකට  පවසා ඇත.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය හා තවත් කරුණු රැසක් ගැන කොමිසම කළ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යට කර ඇති ප්‍රකාශ බරපතල යැයි ද ආශු මාරසිංහ මහතා කීවේය.

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් මෙම චෝදනා ගැන පියවරක් ගතයුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් යැයි ද එය ඉතා සංවේදී විෂයක් යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා අවධාරණය කර කීය.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවටත් ඒ වෙනුවට තමන් ගැන ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ජීවිතය අනතුරේ හෙලූ බවටත් බී.බී.සී සිංහල සේවයට හා ඬේලි මිරර් පුවත්පතට මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශන ක්‍රියාවලියේ ඇතැම් කාරණා ගැන ද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කොමිසම ගැන විවේචනයක් ඇතැයි මාරසිංහ මහතා කීය.

මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ වාර්තා රහස්‍ය නොවන්නේ නම් ඒවා ඩිජිටල් දත්ත හැටියට ලබා දිය හැකි යැයි ද එමගින් රජයට මුදල් ඉතිරි කරගත හැකි යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පත්වීම් දී රට පුරා සේවයේ යෙදුණු 2273 ක් ස්ථිර කරන ලෙස හම්බන්තොට දිස්ත්‍රික් එජාප පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ (28) ලිඛිතව ඉල්ලීමක් කර තිබේ.

මේ පිරිසට කළමනාකරණ තනතුරේ සිට ඊට පහල තනතුරු දක්වා කොන්ත්‍රාත් පදනම මත පත්වීම් ලබා දී තිබූ අතර ඔවුන් දින 180ක් සේවයේ යෙදවීමේ පදනම මත සේවය ස්ථිර කරන ලෙස වෙදආරච්චි මහතා අග්‍රාමාත්‍යවරයාගෙන් කර තිබූ ඉල්ලීම වේ.

මෙම 2273 ම හම්බන්තොට දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වීම විශේෂත්වයක් වන අතර වෙදආරච්චි මහතා මෙම ඉල්ලීමෙන් පිටපතක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා වෙත ද  යවා තිබේ.

අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විමසීමක් කළ අතර එවැනි ලිපියක් ලැබී ඇති බව එහිදී තහවුරු කරන ලදී.

වාහන , ගමන් බිමන් , ගොඩනැගිලි පහසුකම් ආදිය වෙනුවෙන් කෙරෙන වියදම් ඇතුළු සියලුම අත්‍යාවශ්‍ය නොවන සහ ප්‍රමුඛ නොවන වියදම් කපා හරින්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලුම අමාත්‍යාංශවලින් සහ නියෝජිත ආයතනවලින් ඉල්ලීමක් කර ඇත.

ජනාධිපතිවරයා ජනාධිපති කාර්යාලයේ ඊයේ (27) පැවැති කැබිනට් රැස්වීමට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ඉල්ලීම කර ඇත.

භාණ්ඩ හා සේවා මත පැනවෙන බදු අඩුවීමට ඉඩ ඇති බැවින් රාජ්‍ය නියෝජිත ආයතන සහ රජයට අයත් ව්‍යවසායන් මගින් කෙරෙන වියදම් ඇතුළු රාජ්‍ය වියදම් ද පහත මට්ටමක පවත්වා ගත යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

රජයේ ආදායම යළි සකස් කර ගැනීමට යම් කාලයක් ගතවන බැවින් රජයේ මුදල් වැය කිරීමේදී  සිරුවෙන් කටයුතු කිරීම අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

ආණ්ඩුව නිවැරදි මාවතක ගමන් කිරීම අවශ්‍ය බවත්, වැරදි ඇත්නම් ඒවා නිවැරදි කර ගැනීමට ආණ්ඩුවට වසරකට වඩා කල් නොදෙන බව ත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට එක් වෙමිනි.

යළි වැරදුණ හොත් රට ගොඩ ගැනීමට නොහැකි වන බව ද උන්වහන්සේ එහිදී අවධාරණය කළහ.

තවද ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ අදහස් පළ කරමින් උන්වහන්සේ පැවසුවේ, ජාත්‍යන්තර ගිවිසුම්වලින් රට බරපතළ ලෙස තරජනයකට ලක් කර ඇති බවත් ඒවා ඉතා සුපරීක්ෂාකාරීව, සංයමයකින් එකී ගිවිසුම් සාදාරණත්වයට හරවා ගැනීමට අවශ්‍යව ඇති බවත් ය.

පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ක‍්‍රියා කළහොත් එයට එරෙහිව අධිකරණ ක‍්‍රියාමාර්ගයකට යොමු වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම් ෆවුසි මහතා පුවත්පතකට පවසා ඇත.

තමන් මන්ත‍්‍රීධුරයෙන් ඉවත් කරන බවට දැනුම් දෙමින් පක්ෂයෙන් ලිපියක් තමන් වෙත යොමු කර ඇති බවත් පැවසූ  මන්ත‍්‍රීවරයා එවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට කිසිදු හැකියාවක් නොමැති බවත් සඳහන් කර ඇත.

තමන් ඉවත් කිරීමෙන් පුරප්පාඩු වන මන්ත‍්‍රීධුරය හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමේ අරමුණින් පක්ෂය මෙම පියවර ගෙන ඇති බවත් ඔහු පැවැසීය.

පසුගිය ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබියදීත්  ඒ වෙනුවෙන් ක‍්‍රියා නොකළ මෛත‍්‍රීපාල සිරිසේන මහතා තමන්ට පෙර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

තමන් වසර 44ක් තිස්සේ සාමාජික අරමුදල් ගෙවමින් පක්ෂ සාමාජිකයකු ලෙස තමන් කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීධුරය අහෝසි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දී ඇති බව එම පක්ෂයේ නියෝජිතයන් පැවසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අද පත් කර තිබේ.

මීළඟ මහා මැතිවරණයතෙක් භාරකාර ආණ්ඩුවක් පවත්වා ගැනීම සදහා මෙම ඇමති මණ්ඩලය පත් කර ඇත.

හැකි ඉක්මනින් මහ මැතිවරණයත් තෙක් රට මෙහෙයවීම භාරකාර කැබිනට් මණ්ඩලය පත් කිරීමේ අරමුණ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබිණි.

අද දිවුරුම් දෙන ලද ඇමති මණ්ඩලය මෙසේය.

1. මහින්ද රාජපක්ෂ මහතා – මුදල්, ආර්ථික කටයුතු සහ ප්‍රතිපත්ති සම්පාදක, බුද්ධශාසන, සංස්කෘතික සහ ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන, නිවාස පහසුකම්

2. නිමල් සිරිපාල ද සිල්වා මහතා – අධිකරණ, මානව හිමිකම් නීති ප්‍රතිසංස්කරණ

3. ආරුමුගම් කොණ්ඩමන් මහතා – ප්‍රජා සවිබලගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන

4. දිනේෂ් ගුණවර්ධන  මහතා – විදේශ සම්බන්ධතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා, කම්කරු සබඳතා

5. ඩග්ලස් දේවානන්ද මහතා – ධීවර සහ ජලජ සම්පත්

6. පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය – සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය, කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්‍ෂණ

7. බන්දුල ගුණවර්ධන මහතා – උසස් අධ්‍යාපන නවෝත්පාදන හා තාක්‍ෂණ, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ

8. ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පලාත් සභා හා පලාත් පාලන

9. චමල් රාජපක්‍ෂ මහතා – මහවැලි කෘෂිකර්ම වාර්මාර්ග ග‍්‍රාමීය සංවර්ධන, අභ්‍යන්තර වෙලද ආහාර සුරක්‍ෂිතතාවය හා පාරිභෝගික සුබසාදන

10. ඩලස් අලහප්පෙරුම මහතා – අධ්‍යාපන ක‍්‍රීඩා හා තරුණ කටයුතු

11. ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා – මාර්ග හා මහාමාර්ග, වරාය හා නාවුක කටයුතු

12. විමල් වීරවංශ මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධණ, කර්මාන්ත හා සැපයුම් කලමණාකාරණ

13. මහින්ද අමරවීර මහතා – මගී ප‍්‍රවාහන කලමණාකාරන, විදුලි බල හා බලශක්ති

14. එස්.එම්. චන්ද‍්‍රසේන මහතා – පරිසර හා වනජීවී, ඉඩම් හා ඉඩම් සංවර්ධන

15. රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත, අපනයන කාෂිකර්ම

16. ප‍්‍රසන්න රණතුංග මහතා – කාර්මික අපනයන හා ආයෝජන ප‍්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා

එම උත්සවයේ සජීවී විකාශය පහතින්,

ජනාධිපතිවරණයෙන් විශිෂ්ඨ ජයක් හිමිකරගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස වැඩ භාර ගත්තේය. 

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද(19) පෙරවරුවේ සුබ මොහොතින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගෙන තිබේ.

එමෙන්ම නව ජනාධිපති ලේකම්වරයා ලෙස ආචාර්ය පි.බි.ජයසුන්දර මහතා පත් කිරිමට නියමිත බව වාර්තා වෙයි.

ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා බොහෝ දුරට පත් කෙරෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත් කිරීම් සිදුකිරීමට නියමිතයි.

2019 ජනාධිපතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල දෙස් විදෙස්හි වෙසෙන සියල්ලන් හට ඉතා ඉක්මනින් ලබා දීමේ අරමුනින් ඒෂියන් මිරර් වෙතින් නිල ඡන්ද ප්‍රතිඵල සජීවී විකාශය කිරීමට සියල්ල සූදානම් කර ඇත.

මැතිවරණ කොමිෂන් සභාවෙන් සෘජුවම ලබා ගන්නා ඡන්ද ප්‍රතිඵල ඉතා ඉක්මණින් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සජීවීව අන්තර්ජාලය හරහා ඔබ වෙත ලබා දීමට ඒෂියන් මිරර් තාක්ෂණික කණ්ඩායම මේ වන විට සියලූ කටයුතු සූදානම් කොට ඇත.

ප්‍රතිඵල විකාශය අතරතුර සමාජ දේශපාලන පිලිබඳ කාලීන විද්වත් සංවාදාත්මක වැඩසටහන් කිහිපයක්ද ඔබ වෙනුවෙන්ම සුදානම් කොට ඇත.

නොවැම්බර් 16 වැනිදා පළමු මැතිවරණ ප්‍රතිඵලය නිකුත් වූ සැණින් අන්තර්ජාලය ඔස්සේ ඔබ වෙත ලබා දීමට අප බලාපොරොත්තු වන අතර එතැන් පටන් අවසන් ප්‍රතිඵලය දක්වාම ඒෂියන් මිරර් සමඟ රැඳී සිටින මෙන් ඒෂියන් මිරර් පාඨකයින් ආරාධනා කර සිටිමු.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්ෂා කරමින් සාමකාමීව කටයුතු කරන ලෙස අගමැතිවරයා මෙම නිවේදනය මඟින් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

-උපුටා ගැනීම - 

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කර, රට පුරා ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක සහ සාමකාමී පරිසරයක් නිර්මාණය කිරීමට අප කටයුතු කළා. 

එවැනි ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක, සාධාරණ සහ යුක්තිගරුක පරිසරයක පැවැත්වෙන මුල්ම ජනාධිපතිවරණය හෙට, සෙනසුරාදා පැවැත්වීමට සියලූ කටයුතු සූදානම්.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සියලූම විධිවිධාන මැතිවරණ කොමිෂන් සභාව විසින් සලසා තිබෙනවා. ඊට අවශ්‍ය ආරක්ෂාව ප්‍රමාණවත් පරිදි සැලසීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙත අවශ්‍ය උපදෙස් ලබා දී තිබෙනවා.

පුරවැසියන් වශයෙන් අප සියලූ දෙනාගේම යුතුකම හා වගකීම වන්නේ නිදහස්, සාධාරණ හා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සඳහා අදාළ ආයතනවලටත්, නිලධාරීන්ටත් උපරිම සහය ලබා දීමයි.

අප කළ යුත්තේ මේ නිදහස් පරිසරය තවතවත් ශක්තිමත් කරලීමයි. යළිත් අතීතයේ මෙන් අශීලාචාර දේශපාලන සංස්කෘතියක් නිර්මාණය නොවීමට උපරිම අයුරින් දායක වීමයි. 

ඒ නිසා මා ඔබ සියලූ දෙනාගෙන් ඉල්ලා සිටින්නේ හෙට, එනම් නොවැම්බර් 16 වන දින සාමකාමීව ඔබේ ඡන්දය ප්‍රකාශ කර මෙම ජනාධිපතිවරණය නිදහස්ව හා සාධාරණව පැවැත්වීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි. 

එසේම, මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව නීතිය හා සාමය ආරක්‍ෂා කරමින්  සාමකාමීව කටයුතු කරන ලෙස මා ඔබ සැමගෙන් විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා.“

-උපුටා ගැනීම අවසන්-