March 29, 2024

මැතිවරණ කොමිසම ගැන එ.ජා.ප ය ව්‍යවස්ථා සභාවට කියන්න යයි Featured

December 01, 2019

මැතිවරණ කොමිසමේ සාමාජිකයකු වන මහාචාර්ය රත්නජීවන් හූල් මහතා එහි ස්වාධීනත්වය සම්බන්ධයෙන් චෝදනා ගැන එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට පැමිණිලි කරන්නේ යැයි එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා පුවත්පතකට  පවසා ඇත.

මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය හා තවත් කරුණු රැසක් ගැන කොමිසම කළ මැදිහත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍යට කර ඇති ප්‍රකාශ බරපතල යැයි ද ආශු මාරසිංහ මහතා කීවේය.

මැතිවරණ කොමිසම ස්වාධීන කොමිසමක් බැවින් මෙම චෝදනා ගැන පියවරක් ගතයුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් යැයි ද එය ඉතා සංවේදී විෂයක් යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා අවධාරණය කර කීය.

ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් නිසි පරිදි විමසා නොබැලූ බවටත් ඒ වෙනුවට තමන් ගැන ගෝඨාභය රාජපක්ෂ පාර්ශවයට දැනුම් දී කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා තම ජීවිතය අනතුරේ හෙලූ බවටත් බී.බී.සී සිංහල සේවයට හා ඬේලි මිරර් පුවත්පතට මහාචාර්ය රත්නජීවන් හූල් මහතා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා මේ බව සඳහන් කළේය.

ඊට අමතරව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශන ක්‍රියාවලියේ ඇතැම් කාරණා ගැන ද එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ කොමිසම ගැන විවේචනයක් ඇතැයි මාරසිංහ මහතා කීය.

මැතිවරණ ප්‍රතිඵල පිළිබඳ වාර්තා රහස්‍ය නොවන්නේ නම් ඒවා ඩිජිටල් දත්ත හැටියට ලබා දිය හැකි යැයි ද එමගින් රජයට මුදල් ඉතිරි කරගත හැකි යැයි ද මහාචාර්ය මාරසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Last modified on Monday, 02 December 2019 08:12