May 13, 2024

නිවසේ සිට නිරෝධායනය වෙන අය ගැන හෙළිවූ දේ

පසුගිය ජුනි මස 07 වැනිදා සිට බරපතළ නොවන කොරෝනා ආසාදිතයින්ව ඔවුන්ගේ නිවැස්වලම නිරෝධායනය කර ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදය ආරම්භ වුණා.

එම ක්‍රමවේදය අනුව මේ වෙද්දී රෝගීන් 24,847 දෙනෙකු සුවය ලබා තිබෙන බවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය විසින් පවසා සිටියා. 

ඇය පවසා සිටියේ මේ වන විට රට පුරා රෝගීන් 41,826ක් නිවෙස්ගත ක්‍රමයට අනුගත කරමින් ප්‍රතිකාර ලබාදෙන බවයි. එලෙස නිවෙස් ගත ක්‍රමයට ප්‍රතිකාර කරන පිරිසෙන් රෝහල් ගත කර ඇත්තේ රෝගීන් 474ක් පමණක් බවයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ.

මෙම රෝගීන් නිවසේ රැඳී සිටිමින් කරන ප්‍රතිකාර ක්‍රමවේදයේදී රෝගීන්ගේ මානසික සහනය ප්‍රධාන දෙයක් බව රෝගීන් සමඟ දුරකථන සංවාද හරහා කරන ලද සාකච්ඡාවලදී අනාවරණය වුණු බවද විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන මහත්මිය සඳහන් කළා.

කොවිඩ් ආසාදිතයින් සුවය ලැබීම සඳහා මානසික සෞඛ්‍ය යහපත්ව පැවතීම අත්‍යාවශ්‍ය සාධකයක් බව පෙන්වා දෙන විශේෂඥය වෛද්‍යවරිය පවසා සිටියේ “මානසික ආතතිය මේ රෝගයේ සංකූලතා ඇතිවීමට බොහෝ සෙයින් බලපාන කරුණක්” බවයි.

ඒ අනුව වෛරසය ආසාදිත රෝගීන් හට  නිවෙස් තුළ ප්‍රතිකාර ලබාදීමේ ක්‍රමවේදය සාර්ථක ප්‍රතිඵල පෙන්වන බවද වෛද්‍යවරිය විසින් පවසා සිටියා.

Rate this item
(0 votes)