April 26, 2024
Main

Main (651)

විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබූ 20 වැනි සංශෝධනයේ ඇති 38 න් 36 ක් ජනමත විචාරණකින් සහ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් සම්මත කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) පැවැසීය.

ඒ අනුව 20 වැනි සංශෝධන පත්‍රයේ ජනපති බලතල අහෝසි කෙරෙන සියලුම වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව තීරණය කර ඇත.

පනත් කෙටුම්පතේ නාමය දැක්වෙන පළමු වගන්තිය සහ පනතේ සිංහල සහ දෙමළ භාෂා පාඨ අතර පරස්පරතාවයක් ඇති වුවහොත් සිංහල භාෂා පාඨය බලගැන්විය යුතු බව දැක්වෙන අවසන් වගන්තිය වන 38 වගන්තිය පමණක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.

මෙම 20 වැනි සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබූ පෙත්සම් වලට අදාල තීන්දුව කතානායකවරයාට යවා ඇති බව දක්වමින් නියොජ්‍ය කතානායකවරයා එම තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති කැබිනට් රැස්වීමේදී දැඩි උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.

ඒ පළාත් සභා මැතිවරණය අලුත් ක්‍රමයට පවත්වනවාද නැතිනම් පැරණි ක්‍රමයට පවත්වනවාද යන්න සම්බන්ධයෙන් ඇමැතිවරුන් අතර ඇතිවූ සංවාදයක් හේතුවෙනි.

පළාත් සභා සීමා නිර්ණ කමිටු වාර්තාව අධ්‍යයනය කර නිර්දේශ කිරීම සඳහා පත්කළ කමිටුව පසුගියදා රැස්වූ බවත් පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයටම පවත්වන්නේද නැතිනම් අලුත් ක්‍රමයට පවත්වන්නේ ද යන්න සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් ගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

පළාත් සභා ඡන්දය පැරණි ක්‍රමයට පැවැත්වීමට දේශපාලන පක්ෂ වැඩි කැමැත්තක් දක්වන බවද අගමැතිවරයා ප්‍රකාශ කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ස්ථාවරය කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීම යැයි පවසා ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දෙන්නේ ද කොට්ඨාස ක්‍රමයට මැතිවරණය පැවැත්වීමේ එකඟතාව අනුව බවද ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා එහිදී පෙන්වා දී තිබේ.

මේ අතර ඇමැති ෆයිසර් මුස්තාෆා මහතා අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ නැවත පැරණි ක්‍රමයක් ගැන කතා කළ නොහැකි බවත් ශ්‍රීලනිපයේ ස්ථාවරය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීම බවත්ය.

එහිදී අදහස් දක්වා ඇති ඇමති පාඨලී චමිපික රණවක මහතා පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමය සම්බන්ධයෙන් ඇත්තේ විකල්ප තුනක් බව සඳහන් කර ඇත.

අලුතින් සම්මත කරන ලද පළාත් සභා මැතිවරණ පනත අහෝසි කර පැරණි ක්‍රමයට ඡන්දය පැවැත්වීම, අලුත් පනතේ අඩුපාඩු නිවැරදි කර අලුත් ක්‍රමයට ඡන්දය පැවැත්වීම, සීමා නිර්ණ කමිටු වාර්තාවේ අඩුපාඩු නිවැරදි කර ඊළඟ මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පවත්වන තෙක් මේ මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම යන්න එම විකල්ප තුන බවද ඇමැති රණවක මහතා පවසා ඇත.

ඇමැතිවරයාගේ අදහස් දැක්වීමෙන් අනතුරුව අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ ගැන කැබිනට් රැස්වීමේදී පමණක් සාකච්ඡා නොකර වහාම දේශපාලන පක්ෂ සියල්ල කැඳවා මේ පිළිබඳව කඩිනමින් සාකච්ඡා කළ යුතු බව පවසා ඇත.

ඒ අනුව මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියලු දේශපාලන පක්ෂ වල නායකයින්ගේ සහභාගිත්වයෙන් යුතු සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ලබන 05 වනදා පැවැත්වෙන ඇතැයිද වාර්තාවේ.

මේ අතර පොලිස්පතිවරයාගේ සිට පොලිස් දෙපාර්තමේන්තුවම කඩිනමින් ප්‍රතිසංවිධානය කළ යුතුව ඇතැයි ජනාධිපතිවරයා කැබිනට් රැස්වීමේදී සඳහන් කර තිබේ.

පොලිස්පතිවරයාගේ ක්‍රියා කලාපය විවේචනය කර ඇති ජනාධිපතිවරයා, ඔහුගේ නොමනා හැසිරීම නිසා වැඩියෙන්ම බැනුම් ඇසීමට සිදුව ඇත්තේ තමාට සහ අගමැතිවරයාට බව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

පොලීසියේ ඇතැමුන්ගේ විනයත්, හික්මීමත් පිරිහී ඇතැයි පවසා ඇති ජනාධිපතිවරයා එය වහා නිවැරදි කළ යුතු බව ප්‍රකාශ කර ඇති අතර අපරාධ අඩු වී ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශ පිළිගත නොහැකි බව ද ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සඳහන් කර තිබේ.

කිසිම උද්ඝෝෂණයක් නැවැත්වීමට කිසිම උසාවි නියෝගයක් ගෙන නැති බව රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අද (4) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු විසින් හෙට කොළඹ සිදු කරන “ජනබලය“ උද්ඝෝෂණය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

උද්ඝෝෂණ නැවැත්වීමට පොලීසිය විසින් උසාවි නියෝග ගෙන ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු චෝදනා කළේ ය.
මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, මෙසේ පැවසී ය. ''අපි ඉඩ දෙනවා වැදගත් විදියට හැසිරෙන්න. කියලා ගස්සා ගන්න අවශ්‍ය වෙලා. අපි ගහන්නේ නෑ. පොලීසිය විසින් කිසිම තහනම් නියෝගයක් අරන් නෑ''යනුවෙන් සඳහන් කළේය.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට(05) දිනයේ පැවැත්වීමට නියමිත විරෝධතාවයට අදාලව පොලිස් ස්ථාන 03 ක් මඟින් සිදුකල ඉල්ලීම් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

කුරුඳුවත්ත, වැලිකඩ සහ කොල්ලුපිටිය යන පොලිස් ස්ථාන මඟින් මෙම විරෝධතාවයට අදාල වාරණ නියෝග ලබා ගැනීම සඳහා අදාල ඉල්ලීම් සිදුකර තිබිණි.

විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වීම වලක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස කොල්ලුපිටිය පොලිසිය සිදුකල ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.

විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිස් බල ප්‍රදේශයට ඇතුළු වුවහොත් සාමාන්‍ය ජනතාව සහ විරෝධතාකරුවන් අතර ගැටුමක් ඇති විය හැකි බවට පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර තිබිණි.

යම්කිසි ආකාරයක ගැටුමක් ඇති වුවහොත් පොලීසියට පවතින බලතල අනුව ක්‍රියා කිරීමේ හැකියාවක් පවතින බව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සඳහන් කර ඇති අතර ඒ අනුව පොලීසිය සිදුකල ඉල්ලීම මහේස්ත්‍රාත්වරිය ප්‍රතික්ෂේප කර තිබේ.

ඒකාබද්ධ විපක්ෂය විසින් හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවස අවට මාර්ගවල රැඳී සිටිමින් උද්ඝෝෂණය කිරීම වළක්වා ලීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පොලිසිය විසින් කල ඉල්ලිම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද ප්‍රතික්ෂේප කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් හෙට දින ජනාධිපතිවරයාගේ සිය නිල නිවස අවට මාර්ගවල රැස් වී උද්ඝෝෂණය කරමින් පන්දම් දල්වා ජනාධිපතිතුමාට පිටතට පැමිණීමට නොහැකි වන පරිදි උද්ඝෝෂණය කිරීමට සූදානම් බව කුරුඳුවත්ත පොලිසිය අධිකරණය වෙත ඉල්ලීමක් කරමින් සඳහන් කර තිබේ.

යම් පුද්ගලයෙකු ජනාධිපතිවරයා ගේ නිවස වැටලීමට සූදානම් වන්නේ නම් එය රාජ්‍ය විරෝධී කටයුත්තක් බව එහිදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලීසියට පෙන්වා දී ඇත.

එවැනි රාජ්‍ය විරෝධී ක්‍රියාවක නිරතවන පුද්ගලයින්ව අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි ප්‍රශ්න කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එසේ නොකොට අධිකරණය හමුවට පැමිණ පොලීසිය මෙවැනි ඉල්ලීම් කිරීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුවන බවද කියා සිටියේය.

මෙම චෝදනාව සනාථ කිරීම සඳහා පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකර නොමැති බව ද සඳහ මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

පොලීසිය විසින කරුණු ලබන මෙම ඉල්ලීම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බැවින් එය ප්‍රතික්ෂේප කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා කියා සිටියේය.

පොලිසිය විසින් කළ මෙම ඉල්ලීමේ වග උත්තරකරුවන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන, වාසුදේව නානායක්කාර ,දිලුම් අමුණුගම යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු එකොළොස් දෙනෙකු නම් කර තිබුණි.

වැලිකඩ පොලීසියේ ඉල්ලීමත් ඉවතට

හෙට දින වැලිකඩ පොලිස් වසම තුළ මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා වැලිකඩ පොලිසිය විසින් කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය අද ප්‍රතික්ෂේප කළේය.

හෙට දින වැලිකඩ පොලිස් වසම තුළ මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත් වීමට සූදානමක් පවතින බවට බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් මේ හේතුවෙන් මෙයාකාරයෙන් මහජන සාමය කඩවන ආකාරයෙන් උද්ඝෝෂණ පැවැත්වීම වැලැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් වැලිකඩ පොලිසිය අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණි.

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය“ උද්ඝෝෂණය ගැන රාජ්‍ය පරිපාලන හා නීතිය,සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය පහතින්,

ජී. එස්‌. පී. ප්ලස්‌ හෝ මොන සහන නැති වුවත් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති බව කැබිනට්‌ සම මාධ්‍ය ප්‍රකාශක ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

පසුගිය දිනවල මේ පිළිබඳව විවිධ රාජ්‍ය නිලධාරීන් කැඳවා සාකච්ඡා පවත්වා ඇති බවද ඉදිරියේදීත් කමිටු පත්කර වැඩිදුරටත් සාකච්ඡා පවත්වමින් යන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම් කර මරණ දඬුවම නියම වී සිටියදී යළිත් වරක්‌ මත් ජාවාරම් කළ පුද්ගලයන්ට පමණක්‌ බවද රටේ පවතින තත්ත්වය පිළිබඳව සලකා බලා මෙම තීරණය ගත් බවද හෙතෙම ප්‍රකාශ කළේය.

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු පුද්ගලයන් මේ වන විට හඳුනාගෙන ඇති බවද නීති අංශවලින් අවශ්‍ය තොරතුරු රැස්‌කරමින් සිටින බවද ඇමැතිවරයා කියා සිටියේය.

එමෙන්ම බන්ධනාගාර තුළ සිට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට සහාය දුන් නිලධාරීන් පිළිබඳවද තොරතුරු ලබා ගනිමින් සිටින බවද ඔවුන්ට එරෙහිව ද දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවද වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේවෙතත් මීට පෙර ජනාධිපතිවරයා ගත් ඇතැම් තීන්දු මෙන්ම මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීන්දුවද සතියක් ඇතුලත හකුලා ගැනීමට ජනාධිපතිවරයාට සිදුවී ඇත. “ජනාධිපතිවරයාගේ තීන්දුවට ජාත්‍යන්තර වශයෙන් පවා අද විරෝධයක් ගොඩනැගිලා. එම විරෝධය පිටුපස්සේ ඉන්නේ එක්සත් ජාතික පක්ෂයම තමයි. විදේශ සබඳතා තිබෙන ප්‍රබල ඇමැතිවරයෙක් තානාපති කාර්යාල කිහිපයකට කතා කරලා වැඩේ කරලා තියෙනවා“ යැයි රජයේ ප්‍රකාශයෙකු පැවසී ය.

ඒ අනුව ජාත්‍යන්තරයෙන් එල්ල වන බලපෑම් හමුවේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමේ තීරණය හකුලා ගන්නට ජනාධිපතිවරයාට සිදුවී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ කුමන අන්දමේ විරෝධතා මතුවුව ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු ඉදිරියටම කි‍්‍රයාත්මක කරන බවයි.

මරණ දඬුවමේ යෝජනාව විසිවෙයි

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති නමුත් දේශීය හා විදේශීය වශයෙන් එල්ල වී ඇති බලපෑම් හමුවේ එම තීරණය ක්‍රියාත්මක නොවනු ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමයත් බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් නවයක තානාපති කාර්යාලත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යවමින් පසුගිය සතියේ ඉල්ලීමක් ද කර තිබිණි.

මේ අතර මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළහොත් ශ්‍රී ලංකාවට ලබා දෙන ජී.එස්.පී. බදු සහනය නතර කරන බව ද යුරෝපා සංගමය රජයට දැනුම් දී තිබූ බව වාර්තා පළවිය.

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ ද මේ වන විට බෙදීමක් ඇතිවී තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවැති කැබිනට් රැස්වීමේ දී තීරණයක් ගෙන තිබිණි. මරණ දඬුවමට ලක්ව බන්ධනාගාරවල සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අත්සන් කරන බව ජනාධිපතිවරයා මහනුවර දී ද ප්‍රකාශ කර තිබිණි.

මේ අතර මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවමට නියම වී ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුවක් තමාට එවන ලෙස ජනාධිපතිවරයා අධිකරණ ඇමැතිනි තලතා අතුකෝරල මහත්මියට දැනුම් දී තිබූ අතර මරණ දඬුවමට ලක්වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 18 දෙනකුගේ නම් ලැයිස්තුවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ ඇමැතිවරියට මේ වන විටත් යවා ඇත.

මාතර නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇති ගිවිඅවි පිළිබඳ දැඩි කතාබහක් ඇති වී තිබේ.

පාතාල සාමාජිකයින් අතර සිදුවන වෙඩි තැබීම් සඳහා තෝරා ගත් ගිනි අවි කිහිපයක් පමණක් යොදා ගන්නා බවත්, ඒවා ඔවුන් අතර හුවමාරු වන බවත් මේ වනවිට ලැබී ඇති තොරතුරු අනාවරණ වී ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය මේ වන විටත් එම ගිනි අවි සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මූලික පොලිස් පරීක්‍ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත්තේ මාතර නගරයේ කොල්ලකෑමට පැමිණි පාතාල කල්ලිය වෙඩි තැබීමට භාවිත කර ඇත්තේ ඉහළ පෙළේ ප්‍රභූන්ගේ ආරක්‍ෂාව සඳහා යොදා ගන්නා ස්වයංක්‍රිය ගිනිඅවියක් බවයි.

ඉහළ පෙළේ ප්‍රභූන්ට ආරක්‍ෂාව සලසන පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සහ ප්‍රභූ ආරක්‍ෂක අංශයේ නිලධාරීන් සීමිත සංඛ්‍යාවකට සහ ශ්‍රී ලංකා යුද හමුදාවේ කමාන්ඩෝ හා විශේෂ බළකා සෙබළුන් මෙම විශේෂිත ගිනි අවිය භාවිත කරන බවද ආරක්‍ෂක අංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

ස්වර්ණාභරණ අලෙවිසල තුළ මෙම ගිනි අවිය භාවිත කර ඇත්තේ පොලිස් වෙඩි පහරින් මියගිය චාමර ඉන්ද්‍රජිත් ජයසුන්දර විසින් බවද විමර්ශනවලදී හෙළිවී තිබේ.

දැනට අත්අඩංගුවේ පසුවන කොස්ගොඩ තාරකගේ නායකත්වය මත කොල්ලය සැලසුම් කර ඇති අතර එය ව්‍යර්ථ කිරීමට පැමිණි පොලිස් නිලධාරීන්ට වෙඩි තැබීම සඳහා භාවිත කර ඇත්තේද මෙම ස්වංක්‍රිය ගිනි අවිය බවද පොලිසිය පැවසී ය.

මෙම ස්වංක්‍රිය ගිනි අවිය සමඟ මිලීමීටර් 9 වර්ගයේ සජීව පතරොම් 18ක් සහිත මැගසින් එකක්ද පොලිස් භාරයට ගැනුණි.

මෙම ගිනි අවිය ශ්‍රී ලංකා පොලිසියේ ගිනිඅවි පිළිබඳ විශේෂඥවරුන් විසින් පෙරේදා (23) පරීක්‍ෂා කර ඇති අතර එහි වාර්තාව මේ සතිය තුළ ලැබීමට නියමිතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියකු සඳහන් කළේය.

මේ වන විට මාතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි ජී. එච්. මාරපන මහතාගේ අධීක්‍ෂණය සහ උපදෙස් මත මෙරට ආරක්‍ෂක අංශය සඳහා ඉතා සීමිත සංඛ්‍යාවක් නිකුත් කර ඇති මෙම විශේෂිත ගිනි අවිය පාතාල කල්ලි අතට පත්වූයේ කෙසේද යන්න සෙවීමට විශේෂ පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

විදෙස් රටක නිෂ්පාදනය කොට ඇති මෙම ගිනි අවිය පිළිබඳ ඉදිරියේදී අධිකරණ නියෝග මත රජයේ රස පරීක්‍ෂක වෙත ඉදිරිපත් කොට වාර්තාවක් ලබා ගැනීමටද නියමිතය.

මෙවැනි ගිනි අවි ඊශ්‍රායලය නිෂ්පාදනය කරන අතර යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ. නායකයන්ද මෙවැනි ගිනි අවි භාවිත කර ඇතැයි වාර්තාවේ.

එසේම මෙවැනි නවීන ගිනි අවි පාතාල කල්ලි අතට පත්වීම මෙරට ජාතික ආරක්‍ෂාවට දැඩි තර්ජනයක් බවද ආරක්‍ෂක අංශ පවසයි.

තවත් වෙඩි තැබීම් සිද්ධින් දෙකක්

මේ අතර පෙරේදා(24) රාත්‍රියේ සහ ඊයේ (25) උදෑසන වෙඩි තැබීමේ සිද්ධීන් දෙකක් වාර්තා විය. රත්මලාන - චක්කින්දාරාම පාරේ ඊයේ උදෑසන වෙඩි තැබීමක් සිදුවූයේ යුද හමුදා කෝප්‍රල්වරයෙක් ඉලක්ක කර ගනිමිනි.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබූ අතර පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ ටී - 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.

වෙඩි ප්‍රහාරයෙන් යුද හමුදා කෝප්‍රල්වරයාගේ එක් අතකට තුවාල සිදුව තිබේ.

එමෙන්ම, පෙරේදා රාත්‍රියේ කොළඹ - ජම්පටාවීදිය - 137 වත්ත ප්‍රදේශයේදී ද වෙඩි තැබීමක් සිදුව ඇති අතර, එහිදී ද 50 හැවිරිදි වෙළදසැල් හිමියෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසී ය.

මේ අතර, පොලිස් වෙඩි පහරින් මාතර දී සැකකරුවෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව ඊයේ ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ඉන් අනතුරුව එම කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය පියවර ගත යුතු බවයි.

මාතර ස්වර්ණාභරණ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ දී පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ කොස්ගොඩ තාරක නැමැත්තාගේ සහෝදරයා වන මදූක නිර්මාල් පෙරේරා, ඊයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

සිද්ධියෙන් තුවාල ලැබූ තවත් සැකකරුවන් දෙදෙනෙකු එම බන්ධනාගාරය වෙත රැගෙන විත් තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස 2016 වසරේ පැවති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගි වීම කෝටි 12½ කට ආසන්න මුදලක් වැයකර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරක්‌ෂක නිලධාරීන් ඇතුළු 60 දෙනකු මීට සහභාගි වී ඇති බවත් සහභාගි වූ සියලු පිරිස වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි හතළිස්‌ පන්ලක්‌ෂ දොළොස්‌ දහස්‌ නවසිය හැත්තෑවක්‌ සහ ශත තිස්‌ නවයක මුදලක්‌ වැයකර තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසී ය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේ “හිටපු ජනාධිපතිවරු විදේශ සංචාරය සඳහා විශාල පිරිසක්‌ රැගෙන ගොස්‌ මුදල් නාස්‌ති කළ බව පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ කළා. ඒ නිසා සරල ජනාධිපතිවරයෙක්‌ පිළිබඳ ප්‍රතිරූප මවමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමා රුපියල් දොළොස්‌ කෝටියක්‌ වැයකරමින් 60 දෙනකු සමඟ විදේශ සංචාරයේ යෙදීම ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු කඩ කිරීමක්‌ බව ඇමැතිතුමා පිළිගන්නවාද?

“හැට දෙනෙක්‌ සහභාගී වූ පදනම ජනාධිපති කාර්යාලයෙන් එවලා තියෙන්නේ. මට මෙතැන ඒක ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒක ජනාධිපති කාර්යාලය තීරණය කළ දෙයක්‌. ඒ කාලේ ජනාධිපතිවරු මීට වඩා විශාල පිරිස්‌ අරගෙන විදේශ සංචාරවල යෙදිලා තියෙනවා.“ යැයි රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අපේක්‍ෂකත්වය දරන සන්ධානයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බව එම පක්‍ෂයේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස්‌ මහතා පවසයි.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම දේශපාලන පක්‍ෂ කිහිපයක සහයෝගය ලබාගෙන තරග කරන බවට ශ්‍රීලනිප නව මහ ලේකම්වරයා හා ජාතික සංවිධායකවරයා කර තිබෙන ප්‍රකාශය සම්බන්ධයෙන් පක්‍ෂයේ ස්‌ථාවරය හෙළිදරව් කරමින් ජී. එල්. පීරිස්‌ මහතා මේ බව සඳහන් කළේය.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්‌ථාවරය ජනතාව නිරතුරුව විමසා සිටි බවත් ජනාධිපතිවරයාට ඉදිරි ජනාධිපති අපේක්‍ෂකත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සෘජුව හෝ වක්‍රව කිසිදු සහයෝගයක්‌ ලබා නොදෙන බවට ජනතාවට පැහැදිලිවම ප්‍රකාශ කරන බවත්, කිසිදු අවස්‌ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිකර, පෝෂණය කළ ජනතාවට ද්‍රෝහී නොවන බවත් ජී. එල්. පීරිස්‌ මහතා පැවසී ය.

බැලූ බැල්මටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වය ඇතැයි පෙනෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මීළඟ ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට කිසිසේත් සහය නොදෙන බව එම පක්ෂයේ නිල නායකයා වන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කර තිබේ.

“2020 ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සඳහා එකවාගේ අදහස් ඇති දේශපාලන පක්ෂ රැසකින් යුත් දැවැන්ත සන්ධානයක් හදනවා“ කියලා දුමින්ද ඇමතිවරයා කියලා තිබුණා.“ යැයිද බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්‌ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව පැවසීය.

වර්තමාන රජයේ ක්‍රියා කලාපය නිසා ජනතාව ඉතාමත් විශාල ලෙසින් පීඩා විඳින බවත් තවත් අවුරුදු පහක් ඔවුන්ට මෙසේ පීඩා විඳීමට ඉඩ නොදිය යුතු බවද මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසා සිටියේය.

මේ අතර පසුගියදා මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ උපදේශකවරයෙකු ලෙස තමන් පත් කර ඇත්තේ තමන්ද නොදැනුවත්ව බවයි.

"අපි දන්නෙත් නැතිව අපිව තනතුරුවලට පත්කරලා. මේ කරන්නේ මොනවද කියලා මටත් හිතාගන්න බැහැ" යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධුරයට පත්කර තිබීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කර තිබේ.

"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. ඒත් ඒ පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමඟ හවුල්ව සිටින තාක් මට බෑ ඒකට හවුල් වෙන්න. ඒ අය යූ.එන්.පී. එකත් එක්ක එකතු වුණු නිසයි අපි එළියට බැස්සේ. “පොහොට්ටුව" අපි හදපු පක්ෂය. අද රටේ වැඩිම බලයක් තියෙන පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයට එරෙහි ශක්තිමත්ම පක්ෂයත් ඒකයි. එහෙම තැනකට පොහොට්ටුව ඇවිත් තියෙද්දී අපි මොකටද නිදහස් පක්ෂයට හවුල් වෙන්නේ.“

“ආණ්ඩුවත් එක්ක මඟුල් කන ගමන් එක දවසක් ඒකට බැන්නා කියලා මේ අය වෙනස් වෙන්නේ නැහැ. අනෙක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනගන්න ඕනෑ, ඒ අයට ඕනෑ වෙලාවට ගන්නයි එපා වෙලාවට විසිකරන්නයි අපි රම්පේ කරපිංචා නෙවෙයි“ යැයි හිටපු ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ අරමුණ පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා යටතේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත් කිරීම 16 දෙනාගේ කණ්ඩායමේ අභිප්‍රාය බවයි.

බදුල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේද අදහස් දක්වා තිබිණි.

“අපි කවුරුත් දන්නවා 2020 ජනපති අපේක්ෂකයා යූ.එන්.පීයට එරෙහිව ඉදිරිපත් කිරීමේ කාර්යභාරයේ සියයට 90ක්ම තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා ළඟ. අපි ඉන්නේ මහින්ද මහත්තයා අපේක්ෂකයා නම් කරනකල්. මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා තමයි අපෙත් අපේක්ෂකයා වෙන්නේ. අපි හිතන් ඉන්නවා මහින්ද මහත්තයා නම් කරන අපේක්ෂකයා වටා මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ වටේ ඉන්න පක්ෂෙත් ගොණු කරන්න. කිහිපදෙනෙක් යූ.එන්.පී එකට යයි. 2020 ජනාධිපතිවරණය වෙනකන් ඉන්න ඕනෙද ඒ සඳහා. 16 දෙනාගේ කට්ටිය කල්පනා කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හැටියට ඉන්න ගමන් මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරන්න ඕනේ කියන කාරණය. ඒ කාරණය කරන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ජනාධිපති කාලයේම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කැමති කරවා ගැනීම තමයි 16 දෙනාගේ කණ්ඩායමේ පරමාර්ථය.”

බැඳුම්කර සිද්ධිය පිළිබඳ පරික්ෂණ කරන ආයතනවලට සිද්ධිය යට ගසන ලෙස පාර්ශව තුනකින් බලපෑම් කරන බවට ආරංචි ඇතැයි පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසුරිය මහතා පවසයි.

අගමැතිවරයාගේ පාර්ශවයෙන්, ජනපති පාර්ශවයෙන් හා රාජපක්ෂ පාර්ශවයෙන් ද බලපෑම් කරන බවට ආරංචි වූ බව ද විජේසුරිය මහතා පෙන්වා දුන්නේය.

‘‘මේ සිද්ධිය යටපත් කරන ලෙස තර්ජනය කරනවාලූ, අඩන දොඩනවලූ. එහෙම නම් එතකොට මේ පාර්ශව තුනම වෙස් මුහුණු බැඳ ගෙන නටන්නේ එකම නැටුම නේද? මේකේ අවසානයක් තියෙන්න ඕන. ඒ නිසා සියලු දෙනා බලපෑමක් කරන්න ඕන ඇත්ත එලි කරන්න කියලා.’’ යැයිද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

ඔහු මේ බව පැවසූවේ පුරවැසි බලය සංවිධානය විසින් මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

මේ අතර පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු දඹර අමිල හිමියෝ පැවසූවේ ජනාධිපතිවරයා භාර ජනතාව භාරදුන් කටයුත්ත නොකර අනෙක් සියලූම වැඩ කරන බවත් ඉදිරි මැතිවරණයේ දී හොඳින් හොයා බලා හොඳම බුලට් ගෙන එන්නට පුරවැසි බලය සුදානම් බවත්ය.
“අපි වැරදිකාරයෝ කරන්න හදන ලාමක උත්සාහවල නිරත වෙන්න එපා. අපි කාගෙන්වත් තේ එකක් වත් බීල නැහැ. අපි ගත්තය කියන දෙයක් පාර්ලිමේන්තුවෙන් එළියට ඇවිත් කියන්න කියල අපි අභියෝග කරනවා.“ යනුවෙන් උන්වහන්සේ පැවැසූහ.

“පූජාසනය ඉස්සරහට ඇවිත්, අල්තාරය ඉස්සරහට ඇවිත් බුදු අම්මෝ අපි ගත්තේ නැහැ කියන්න නොවෙයි මේ සාකච්ඡාව කරන්නේ. මේ චෝදනා අපට අදාල නැහැ. මේ වෙනුවෙන් අපට වෙනම දේශපාලන සසාකච්ඡාවක් කළ යුතුයි. නමුත් අපි කියනවා මිනිසුන්ට අපේ දේශපාලන භාවිතය බලන්න කියා. 2010 දි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති කරන්න කියා කියන්න මම වේදකාවට නැග්ගේ එංගලන්තේ ඉඳල ඇවිත්. ඒ වෙලාවේ පළමු වෙනි රැස්වීම තිබ්බ විතරයි මාව අත්අඩංගුවට ගත්තා. ඔය මිනිමරුවා මාව තියාගත්තා. ඒත් පුළුවන් වුණාද අපි මොනව හරි ගත්ත කියල කියන්න. කරපිංචා නැට්ටක දෙයක් අරන් තිබුණා නම් මොකද වෙන්නේ. මේ වගේ දෙකයි පණහේ කොන්ද පණනැති හාදයින්ට පුළුවන් ද අපට චෝදනා කරන්න. හුඟක් අය කිව්වේ මේ වගේ අය අයින් කරන්න බැහැ කියලා. අපි යාපනේ පෙළපාලි ගිය අය. අපි එයා එලෙව්වා. මම අභියෝග කරනවා ජනාධිපතිට, අගමැතිට, හමුදාවන්ට, සි අයි ඞී, එෆ් සී අයි ඞී, එකට යුක්ති සහගත සංගායනාවන්ට එන්ට කියලා. “ යැයි උන්වහන්සේ සඳහන් කළහ.

“මෛත‍්‍රී ගෙනාවේ අපි. දැන් අපි පල කියනවා“

“ඒකයි අපි මේ බය නැතිව අභියෝග කරන්නේ අපි සත පහක් වත් කාගෙන් වත් අරන් නැති නිසයි. මේ තරම් යාලුවෙන් හිටි ජනාධිපති එක්ක මෙහෙම තරහ වුණේ ඇයි කියල පත්තර අහනවා. අපට ඒකට තීන්දු ගන්න වුවමණා වුණේ රටට ඇති ආදරේ පමණයි. නිවැරදි භාවයේ හයිය පමණයි. නැතුව විශ්ව විද්‍යාල පට්ටම් නැත්නම් වෙන ඒවා නොවෙයි. මෙහෙම නොවෙයි කෙලින් චෝදනා කරන්න පුඵවන් වෙන්න ඕන. එහෙම බැහැනේ. අපිට නම් පුළුවන් කෙලින් හොරාට හොරා කියන්න. කසි්ප්පු කාරයාට කසිප්පු කාරයා කියන්න. අපට නම් පාර්ලිමේන්තු වරප‍්‍රසාද අවශ්‍ය නැහැ.

මහින්ද රාජපක්ෂ ගේන්න වේදිකාවට නැග්ගේ අපි. 2015 අපි එයාට පල කිව්වා. 2015 දි මෛත‍්‍රිපාල සිරිසේන ගෙනාවේ අපි. අවුරුදු තුන යන්න කලින් අපි පල කියනවා. ටී එන් එල් එකට බාධා ඇති කරමින් ඊ නිවුස් එකට තහනම් ඇති කරමින් මහින්ද කළාට වඩා නරකට දේවල් කරනවා මෙයා. බලාපොරොත්තු වුන, කරන්න කියල දුන්න වැඩ මොකවත් කරන්නේ නැහැ. අපි කිව්වේ මේක හදල යන්න කියලයි. කරන්න කියපු කිසි දෙයක් කළේ නැහැ. වෙනත් දේවල් කර කර තව ඉන්නයි හදන්නේ.

ජනාධිපතිට පුළුවන්නම් කියන්න කියල මම කියන්නේ දඹර අමිල මෙන්න මේවා මගෙන් ගත්තා කියල. මම තේ එකක් වත් බීල නැහැ. බොන්නෙත් නැහැ. ඒ අය තේරුම් අරන් නැහැ අපිව. ඒ නිසා මම අභියෝග කරනවා ජනාධිපතිට, අගමැතිට, හමුදාපතිට, සි අයි ඞී ලොක්කට, එෆ් සී අයි ඞී ලොක්කට, කථානායකට පාර්ලිමේන්තුවට, මාධ්‍ය ආයතනවල මුදලාලිලාට, මම මේ මොනව හරි අරන් තියෙනවා නම් පෙන්නන්න කියලා. ඉදිරියේදිත් මාතෘ භූමිය වෙනුවෙන් පෙනී සිටිනවා. ඒ වෙනුවෙන් දිය හැකි ඕනම දෙයක් දෙන්න පුළුවන්. අංග ප‍්‍රත්‍යංග පුදන්න ලෑස්තියි. අපට සල්ලි නැහැ. අපි කරන්නේ රටේ වැඬේ. අපි මෙතන මාධ්‍ය හමු තියන්නේ සමහර විට ණයට, නැත්නම් කොටස් ලෙස ගෙවන්න.

මම කියන්නේ පුළුවන් නම් එළියට ඇවිත් කියපල්ලා අපි මොනවද ගත්තේ කියලා. අපි උත්තර දෙන්නම්. ජනතාවට අපි කියන්නේ අපේ ජීවිතේ ඉතිරි ටිකත් අපි මේ වගේ ම ගත කරනවා. කළු පැල්ලම් තියාගන්නේ නැහැ. ඒ ගැන සැකයක් තියා ගන්න එපා කියලයි.’’ යැයි ද අමිල හිමියෝ පැවැසූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදිය යුත්තේ පොදුජන පෙරමුණට ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ද යන්න පිළිබඳවද යන්න මේවන විට දැඩි කතාබහක් ඇතිවී තිබේ.

පසුගියදා හිටපු ජනාධිපතිවරයා හමුවූ ශ්‍රීලනිපයේ 16 කණ්ඩායමේ මතය වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා භාරගත යුතු බවයි.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් බහුතරයකගේ අදහසවී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනතා අප්‍රසාදයට පත්වී තිබෙන නිසාත් පක්ෂයක් ලෙසට පොදුජන පෙරමුණ පිළිබඳව ජනතා ප්‍රසාදයක් පවතින බව ඔප්පුවී තිබෙන නිසාත් මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ නායකත්වය දැරිය යුතු බවත්ය.

කෙසේ වෙතත් වර්තමාන වාතාවරණය යටතේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පොදුජන පෙරමුණට නායකත්වය ලබාදිය යුතු බව බහුතරයකගේ අදහස බව ඒකාබද්ධයේ මන්ත්‍රීවරුන්ගේ මතය වී තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ තවත් පිරිසකගේ මතය වී ඇත්තේ පොදුජන පෙරමුණ වශයෙන් නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ​යේ නායකත්වය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව යැයි දැන ගන්නට ඇත.

මෙතෙක් මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්වී නැති අතර මේ වන විට ශ්‍රීලනිපයේ අනුශාසක ධූරයද හොබවනු ලබයි.

එජනිස මන්ත්‍රිවරු පොහොට්ටුවෙන් තරග බිමට

මේ අතර එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී පොහොට්ටුව ලකුණ යටතේ තරග කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළ කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රි කණ්ඩායම තීරණය කර ඇත.

ඊයේ (28) බත්තරමුල්ලේ, නෙලුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ කාර්යාලයේදී බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභා මන්ත්‍රි සංසදය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රි සහන් ප්‍රදීප් මහතා විසින් එළැඹෙන පළාත් සභා මැතිවරණයට පළාත් සභා සංසදයේ මන්ත්‍රිවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණ යටතේ තරග කළ යුතු බවට යෝජනා කර ඇති අතර රැස්වීම සඳහා සහභාගි වූ සියලු මන්ත්‍රිවරුන් අත් ඔසවා ඊට කැමැත්ත පළ කිරීමත් සමඟ එම යෝජනාව ඒකමතිකව සම්මත වී ඇත.

උතුරුමැද හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත්, සබරගමු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් සහ ඩී.බී. හේරත්, සන්ධ්‍යා රාජපක්‍ෂ ඇතුළු හිටපු පළාත් පාලන අමාත්‍යවරුන්, පළාත් සභා මන්ත්‍රි සංසදයේ සභාපති කංචන ජයරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි දකුණු පළාත් මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා මහතා අනාවරණය කරයි.

ඒ මහතා මේ බව අනාවරණය කළේ “මව්බිම“ පුවත්පත සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

මෛත්‍රීපාල සිරිසේන මහතා පැවති ජනාධිපතිවරණයේදී විධායක ජනාධිපති ධුරය අහෝසි කරන බවට පැවසූවේ ඔහු එවකට නිර්පාක්ෂිකව සිටි නිසා බවත් මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ලෙස ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බවත් ෂාන් විජයලාල් ද සිල්වා මහතා සඳහන් කරයි.

එම සම්මුඛ සාකච්ඡාවේදී ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ඇති වූ සංවාදය පහතින් පල වේ,

“විධායක බලතල සහිත ජනාධිපති ධුරය අහෝසි කරන බව කියමිනුයි මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පොදු අපේක්ෂකයා බවට පත් වුණේ. ඒත් දැන් 2020 ශ්‍රී ලනිපයේ ජනාධිපති අපේක්ෂකයා ඔහු බව කියනවා. එතකොට මේ කියන පොරොන්දුව ඉෂ්ට කරලා නෑනේ?
2015 ජනවාරි 08 වැනිදා තිබුණු මැතිවරණයට මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා තරග කළේ. නිර්පාක්ෂික අපේක්ෂකයෙක් හැටියට. එදා එතුමා ඒ දේ ප්‍රකාශ කළා. ඒක ඇත්ත. හැබැයි මැතිවරණයෙන් පස්සේ එතුමා හැමදාම ආදරය කරපු, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වුණා. පාක්ෂිකයන් එතුමාගෙන් ඉල්ලා සිටියා පක්ෂ නායකත්වය ගන්න කියලා. අද එතුමා ශ්‍රී ලනිපයේ නායකයා. ඒ නිසා අද පක්ෂය විධියට එතුමාට අපි යෝජනා කළා ඔබ එදා නිර්පාක්ෂිකයකු හැටියට තීන්දුවක හිටියත්, අද ශ්‍රී ලනිපයේ සභාපතිවරයා නිසා පක්ෂයේ අපේ මතය නම් ඉදිරි මැතිවරණයට ඔබතුමා ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කළ යුතුයි කියන එක.

ජනවාරි 08 වැනිදා දරන මතය එතුමාට දරාගෙන ඉන්න පුළුවන්කමක් නෑ. අද ප්‍රධාන දේශපාලන පක්ෂයක එතුමා සභාපතිවරයා නිසා. එතුමා ඒ ප්‍රතිපත්තිමය තීන්දුවට ඇවිත් තියෙන්නේ.”

පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නෑ

කෙසේ වෙතත් හිටපු අමාත්‍ය ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුසිල් පේ‍්‍රම්ජයන්ත්ත මහතා කියා සිටියේ මීලගට පැවැත්වෙන මැතිවරණයකදී විපක්‍ෂ සියළු බලවේග සමග එක්ව වත්මන් ආණ්ඩුව පෙරලා දමන බවයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්‍ෂකයෙකු ලෙස මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවක් මෙතෙක් කියා නැතැයිද මෙරට ජනතාව නැවත වතාවක් පොදු අපේක්‍ෂකයන් ගැන විශ්වාසයක් නොතබනු ඇතැයිද ඔහු අවධාරණය කළේය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා පොදු අපේක්ෂකයා ලෙස නැවත වරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බවට අපේ ලේකම්වරු ලාබාල ප්‍රකාශ සිදු කරන බවත් එම ප්‍රකාශ සිදු කිරීමට ප්‍රථම පසුගිය මැතිවරණයේ ප්‍රතිපල විග්‍රහ කර බැලිය යුතු බවත් පෙන්වා දුන් සුසිල් පේ‍්‍රම්ජයන්ත්ත මහතා නැවත වතාවක් පොදු අපේක්ෂකයින් පිළිබඳ ජනතාව විශ්වාසයක් නොතබන බවත් කියා සිටියේය.

මෛත්‍රී 2020දී විශ්‍රාම යන්නේ නෑ

2020 වර්ෂයේදී තමන් විශ්‍රාම නොයන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය 07 වනදා ශ්‍රීලනිප මැයි දින රැළියට එක්වෙමින් පැවසී ය.

තමන්ට රට වෙනුවෙන් සිදු කිරීමට තවත් බොහෝ දෑ ඇති බැවින් 2020 දී තමන් විශ්‍රාම නොයන බව ඒ මහතා කියා සිටියේය.

නව වැඩපිළිවෙළක් ඔස්සේ රට වෙනුවෙන් ඉටුකළයුතු වැඩකොටස අඛණ්ඩවම ඉදිරියට ක්‍රියාත්මක කරන බවත් පසුගිය වසර තුනක මහඟු අත්දැකීම් සමුදාය ඒ සඳහා ආශිර්වාදයක් කර ගන්නා බවත් සඳහන් කළ ජනාධිපතිවරයා රටට සහ ජනතාවට ආදරය කරන අවංක දේශපාලනඥයන් පිරිසක් එම වැඩපිළිවෙළ වටා ඒකරාශී කරගන්නා බව ද සඳහන් කළේය.

ගෝඨා ආවොත් සජිත් - චම්පික

කෙසේ වෙතත් පසුගිය මැයි 17 වනදා සිය ෆේස්බුක් ගිණුමට සටහනක් තබමින් වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාද වන ශිරාල් ලක්තිලක මහතා සඳහන් කළේ මීලගට පැවැත්වෙන ජනාධිපතිවරණයට ඒකාබද්ද විපක්‍ෂයෙන් ඉදිරිපත් වන්නේ ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් ඔහු සමග තරගයට දැමිය හැකි හොදම අපේක්‍ෂකයන් වන්නේ සජිත් පේ‍්‍රමදාස, චම්පික රණවක බවයි.

“2020 ජනාධිපතිවරණයට ගෝඨාභය එනවනම් UNPය විසින් තරඟයට දාන්න ඉන්න හොඳම අශ්වයෝ දෙන්නා තමයි සජිත් - චම්පික හෝ චම්පික - සජිත් යුගලය.“ යනුවෙන් ශිරාල් ලක්තිලක මහතා සිය මතය මෙසේ ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මේ අතර “ඒෂියන් මිරර්“ සමග කළ පසුගිය මාර්තු මාසයේදී පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ශිරාල් ලක්තිලක මහතා පෙන්වා දුන්නේ ජනාධිපතිවරයා මෙවර වැඩ කළ යුත්තේ සියයට 25දක්වා තමන්ගේ ඡන්ද පදනම වැඩි කර ගැනීමට බවයි.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයට ලැබුණු ලක්ෂ 15ක් වූ ඡන්ද රට ගැන සිතන රට ගැන විශ්වාසයක් තිබෙන ඡන්ද බවත් සඳහන් කළේය.

2020 ජනාධිපතිවරණයට ශ්‍රීලනිපයෙන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉදිරිපත් වන්නේද යන්න ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ශිරාල් ලක්තිලක මහතා පැවසූවේ තමාගේ මතය නම් ඊලඟ 2020 ජනාධිපතිවරණයට මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් විය යුතු බවයි.

එම වීඩියෝව පහතින් නරඹන්න