May 06, 2024

2016 විදෙස් සමුළුවට ගිය ජනපති මෛත්‍රීගේ වියදම කෝටි 12 1/2 ක්‌ - දූත පිරිස 60ක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස 2016 වසරේ පැවති එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහ සමුළුවට සහභාගි වීම කෝටි 12½ කට ආසන්න මුදලක් වැයකර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවසීය.

ආරක්‌ෂක නිලධාරීන් ඇතුළු 60 දෙනකු මීට සහභාගි වී ඇති බවත් සහභාගි වූ සියලු පිරිස වෙනුවෙන් රුපියල් දොළොස්‌ කෝටි හතළිස්‌ පන්ලක්‌ෂ දොළොස්‌ දහස්‌ නවසිය හැත්තෑවක්‌ සහ ශත තිස්‌ නවයක මුදලක්‌ වැයකර තිබෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන කොළඹ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසී ය.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා ප්‍රශ්න කළේ “හිටපු ජනාධිපතිවරු විදේශ සංචාරය සඳහා විශාල පිරිසක්‌ රැගෙන ගොස්‌ මුදල් නාස්‌ති කළ බව පසුගිය ජනාධිපතිවරණයේ දී ප්‍රකාශ කළා. ඒ නිසා සරල ජනාධිපතිවරයෙක්‌ පිළිබඳ ප්‍රතිරූප මවමින් බලයට පැමිණි වත්මන් ජනාධිපතිතුමා රුපියල් දොළොස්‌ කෝටියක්‌ වැයකරමින් 60 දෙනකු සමඟ විදේශ සංචාරයේ යෙදීම ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු කඩ කිරීමක්‌ බව ඇමැතිතුමා පිළිගන්නවාද?

“හැට දෙනෙක්‌ සහභාගී වූ පදනම ජනාධිපති කාර්යාලයෙන් එවලා තියෙන්නේ. මට මෙතැන ඒක ගැන ප්‍රශ්න කරන්න බැහැ. ඒක ජනාධිපති කාර්යාලය තීරණය කළ දෙයක්‌. ඒ කාලේ ජනාධිපතිවරු මීට වඩා විශාල පිරිස්‌ අරගෙන විදේශ සංචාරවල යෙදිලා තියෙනවා.“ යැයි රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පෙන්වා දුන්නේය.

Last modified on Wednesday, 20 June 2018 11:46