January 15, 2021

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට නීතිමය වශයෙන් ලබා දෙන සේවය තවදුරටත් කාර්යක්ෂම ලෙස ලබාදීමේ අරමුණින් පොලිස් දෙපාර්තමේන්තුව සදහා ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බදවා ගැනීමට තීරණය කර තිබේ.

ඒ පිළිබදව විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11 ) අධිකරණ අමාත්‍යාංශයේදි පැවති අතර එම සාකච්ඡාව සදහා නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ රුවන් ගුණසේකර ,ජනාධිපති නීතිඥ යු.ආර්.ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (නීති) පියුමන්ති පීරිස් යන මහත්ම මහත්මීන් ද එක්ව සිටියහ.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබීමෙන් පසුව අදාළ සම්මුඛ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව ඔවුන් පොලිස් සේවයට බදවා ගැනීමට නිමිත අතර ඔවුන් සතුව පවතින දක්ෂතාවය අනුව උසස්වීම් ලබා ගැනීමේ හැකියාව පවතී. බදවා ගැනීමෙන් පසුව දිවයිනේ පළාත් නවයම ආවරණය වන පරිදි ඔවුන් සේවයට අනුයුක්ත කිරීමට නියමිත අතර ඔවුන්ට නීතිය හා පොලිස් සේවය පිළිබදව විශේෂ පුහුණුවීම් ලබාදීමට නියමිතය.

එම පුහුණුවීම් ලබාදීමට නීතිපති දෙපාර්තමේන්තුව ද එකග වී ඇත. නීතිය ජනතාවට තවදුරටත් සමීප කරවීම, පොලිස් දෙපාර්තමේන්තුව හරහා සිදු වන නීතිමය කටයුතු තවදුරටත් විධිමත් පරිදි සිදු කිරීම මෙහි අරමුණ බව අධිකරණ අමාත්‍යවරයා මෙහිදි සදහන් කළේය.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස බදවා ගනු ලබන මෙම නීතීඥවරුන් දෙමළ භාෂාව පිළිබදව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකම් ලෙස සලකා බැලිය යුතු බවත්, ඒ තුළින් දෙමළ භාෂාව කථා කරනු ලබන ජනතාව දිනා ගැනීමේ හැකියාව පවතිව බවත් ඇමැතිවරයා පෙන්වා දී තිබේ. 

තාක්ෂණය පිළිබදව දැනුම ඔවුන්ට පැවතීම අවශ්‍ය වන අතර අදාළ පුහුණුවීම් නිම වීමෙන් අනතුරුව ඔවුන්ව සේවා අවශ්‍යතාවයන් අනුව අනුයුක්ත කිරීමට නියමිතව තිබේ.

අධිකරණ ඇමති අලි සබ්රි මහතා ඉදිරි සතියේ දී තීරණාත්මක විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කොරෝනා ආසාදිතව මියයන මුස්ලිම් ජාතිකයන්ගේ මෘත දේහ පිළිබඳ ඇති වී තිබෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය නිකුත් කරනු ඇතැයිද සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

මෘතදේහ සම්බන්ධයෙන් ඇමතිවරයා රජය සමඟ මෙන්ම මුස්ලිම් ආගමික නායකයන් සමග වාර ගණනාවක් සාකච්ඡා පවත්වා ඇත.

එය සෑම අවස්ථාවකදීම මුස්ලිම් ආගමික නායකයන් ඉල්ලා සිටියේ මෘතදේහ භූමදානය ට අවසර දිය යුතු බවයි.

ඉන් අනතුරුව රජයේ පාර්ශ්වය සමගද ඔහු සමඟ සාකච්ඡා කර තිබිණි.

කෙසේ වෙතත් අවසන් තීරණය වී ඇත්තේ කොරෝනා මෘත දේහයන් ආදාහනය කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී කියා සිටියාය.

එවන් පසුබිමක අධිකරණ ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

අධිකරණ අමාත්‍යාංශ ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙන යන්නේ තමාගේ යෝජනාවකට අනුව නොව අධිකරණ සේවා කොමිසම තමාගෙන් කළ ඉල්ලීමකට අනුව බව අධිකරණ ඇමති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා හෙළිදරව් කරයි.

අධිකරණ සේවා කොමිසම තමාගෙන් එම ඉල්ලීම කළ අවස්ථාවේ තමා ද තිගැස්සුන බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

සම්මත කර ගත් 20 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනයට අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතින් විනිශ්චකාරවරුන් 6 දෙනෙකුත් අභියාචනාධිකරණයට අලුතින් විනිශ්චකාරවරුන් 8 දෙනෙකුත් පත් කිරීමේ හේතුවෙන් මෙම පියවර ගැනීමට සිදු වූ බව ෂබ්රි මහතා අවධාරණය කරයි.

ගොඩගැසී ඇති නඩු ඉතා ඉක්මනින් විසඳීම සඳහාත් දැනට අසනවා මෙන් දෙගුණයකින් නඩු ඇසීමටත් මෙම තීරණය ගත් බව පෙන්වාදෙන ඇමතිවරයා ඔවුනට අවශ්‍ය උසාවි, රෙජිස්ට්‍රාර් කාර්යාල හා නිල කාමර ආදී පහසුකම් සඳහා අධිකරණ සේවා කොමිසමේ ඉල්ලීම මත අධිකරණ අමාත්‍යාංශය පරිශ්‍රය පරිත්‍යාග කිරීමට සිදු වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

දැන් පවතින අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රය පහසුකම්වලින් සමන්විත ස්ථානයක් බව සදහන් කරන අමාත්‍යවරයා අකමැත්තෙන් වුවත් එම ස්ථානයෙන් ඉවත් වීමට සිදු වන බව ද අවධාරණය කරයි.

බීසීසි ඉඩමේ "අධිකරණ පියස" නමින් සංකීර්ණයක් ගොඩනැගෙන බවත් එතනට අධිකරණ අමාත්‍යංශය රැගෙන යෑමට කලින් සිටම සැලසුම් කර තිබූ බව ද පෙන්වා දෙන අමාත්‍යවරයා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට අමාත්‍යාංශය ගෙන් යන්නේ වසර දෙකක වැනි කෙටි කලකට බවද පෙන්වා දෙයි.

රුපියල් ලක්ෂ 170 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙන යෑම පිළිබඳව සමාජයෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් අලි සබ්රි මහතා මෙම අදහස් පල කරන ලදී.

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් සිය අමාත්‍යංශ කාර්යාලය කොටුවේ පිහිටි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ගෙන යෑමේ දී යහපාලන රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටි දුමින්ද දිසානායක මහතා තැබූ වාර්තාව කැඩීමට අසමත් වී තිබේ.

රුපියල් ලක්ෂ 170 ක මාසික කුලියකට අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට අධිකරණ අමාත්‍යවරයා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කොට එයට අනුමැතිය ද ලබාගෙන තිබේ.

දුමින්ද දිසානායක මහතා යහපාලන රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටියදී කෘෂිකර්ම අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 226 ක මාසික කුලියකට රාජගිරියේ පිහිටි ඩී.පී ජයසිංහ ගොඩනැගිල්ලට එනම් බොහෝ දෙනෙකු දන්නා පරිදි සබීතාපායට ගෙන යෑමට ගත් පියවර එකල වර්තමාන පොදුජන පෙරමුණ ආණ්ඩුවේ බොහෝ පිරිසකගේ විවේචනයට ද ලක් විය.

ගොඩ ගැසී ඇති නඩු කඩිනමින් ඇසීම සඳහා නව විනිසුරුවන් පත් කිරීමේ හේතුවෙන් ඔවුන්ට අවශ්‍ය අධිකරණ සංකීර්ණ ලබා දීම සඳහා සිය අධිකරණ අමාත්‍යංශ භූමිය පරිත්‍යාග කිරීමට සිදු වීම මත සිය අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානය වෙත ගෙන යෑමට සිදු වූ බව අලි ෂබ්රි මහතා පෙන්වා දී තිබේ.

යහපාලන ආණ්ඩු සමයේ කරු ජයසූරිය කතානායකවරයා විසින් පාර්ලිමේන්තු කටයුතු සඳහා බත්තරමුල්ලේ රජමල්වත්ත පාරේ පිහිටි සිය අමාත්‍යංශ භූමිය ඉල්ලා සිටීම නිසා තමාට වෙනත් ගොඩනැගිල්ලක් සොයා ගැනීමට සිදු වූ බව ඒ අවධියේ ලක්ෂ 226ක්‌  ගෙවා ජයසිංහ ගොඩනැගිල්ලට යාමට හේතුව ලෙස දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරන ලදී.

එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශය පැවැති රජමල්වත්ත මාවතේ ගොඩනැගිල්ල නාවික හමුදාව යොදා අලුත් අලුත්වැඩියා කරනු ලැබුවද හිටපු කතානායකවරයා සිය කාලය අවසන් වන තුරුම එය ප්‍රයෝජනයට නොගැනීම මහජන මුදල් කාබාසිනියා කිරීමක් ලෙස වත්මන් පොදුජන පෙරමුණේ පිරිස් එදා හඳුන්වන ලදී.

2019 වර්ෂයේ ලේඛන වලට අනුව බන්ධනාගාර ගතව සිටින සිරකරුවන්ගෙන් 52%ක් එනම් හරි අඩකටත් වඩා වැඩි පිරිස මත්ද්‍රව්‍ය චෝදනාවලට ලක් වූවන් බව අධිකරණ ඇමැති ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරන ලදී.

මත්ද්‍රව්‍ය චෝදනා වලට ලක් වූවන් නැවත නැවතත් සමාජගත වීම නිසා ඔවුන්ව දිගටම සිරගෙවල්වල තබා ගැනීම ඊට විසඳුමක් නොවන බව පෙන්වා දුන් අමාත්‍යවරයා ඔවුන් පුනරුත්ථාපනය කිරීමට මුල්තැන දීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙන බවද සඳහන් කරන ලදී.

මෙරට බන්ධනාගාරවල ඉඩකඩ ඇත්තේ 11,000 කට පමණක් වුවත් මේ වනවිට 32,000ක් ඉන්න බව හිටපු බන්ධනාගාර කටයුතු රාජ්‍ය ඇමතිවරිය වූ සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියද ප්‍රකාශ කොට තිබිණි.

සිද්ධ නොවිය යුතු දෙයක් මහර බන්ධනාගාරයේ සිදු වීම සම්බන්ධයෙන් රජය කනගාටුව පළ කරන බව අධිකරණ ඇමැති අලි සබ්රි ඊයේ (01 වැනිදා) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

මෙහි දී සිදුව ඇත්තේ කුමක්ද යන්න සම්බන්ධයෙන් කරුණු රැසක් කෙටි කලක් ඇතුළත පාර්ලිමේන්තුවට දැනුම් දෙන බව කී ඇමැතිවරයා විශ්‍රාමික මහාධිකරණ විනිසුරු සරෝජනී කුසලා වීරවර්ධනගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුවෙන් සතියක් ඇතුළත අතුරු වාර්තාවක් ඉල්ලා ඇතැයිද කීය.

බන්ධනාගාරවල ඇති තදබදය නැති කිරීම සඳහා චූදිතයන්ට එරෙහි චෝදනාපත්‍ර සංශෝධනය කර නඩු අසනතුරු එම චූදිතයන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කිරීමටද අවධානය යොමු කර ඇතැයි ඇමැතිවරයා පැවසුවේය.

නීතිපතිවරයා සහ​ පොලිසිය සමග සාකච්ඡා කර රිමාන්ඩ් භාරයේ සිටින සැකකරුවන් හැකි තරම් ඇප මත මුදා හැරීමට කටයුතු කරන බවද අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැති අලි සබ්රි පැවසුවේය.

පිල්ලෙයාන්ගෙන් නඩුව ගැන විශේෂ අවධානයක් තමා යොමු කළ බවත් 2015 සිට ඔහුව වසර 5ක් සිරගත කොට තිබූ බවත් එසේ කරන ලද්දේ යම් පුද්ගලයකු දුන් පාපොච්චාරණයක් පදනම් කොටගෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කරන ලදී.

ඒ පාපොච්චාරණය ස්වෙච්ඡාවෙන් ලබා දුන්නේ නැති බව සනාථ වීම හේතු කොටගෙන පිල්ලෙයාන් මන්ත්‍රීවරයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති වීම නිසා ඔහුව නිදහස් කල බව ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

අධිකරණ කටයුතු පිළිබඳව විවේචනය කරද්දී කරුණු සොයා බලා සමාජය නොමග යන ආකාරයට විවේචන නොකරන ලෙස ද අධිකරණ අමාත්‍යවරයා ඉල්ලීමක් කරන ලදී.

ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ජෝෂප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් වසර 5කට අධික කාලයක් සිරගත කොට තිබිණි.

වසර 42කින් ශ්‍රේෂ්ඨාධිකරණයේ  සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව වසර 42කින් වැඩිකොට නොමැති බවට අනාවරණයක් අධිකරණ අමාත්‍ය ජනධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පාර්ලිමේන්තුවේදී කරන ලදී.

මුලික මිනිස් අයිතිවාසිකම් නඩුවක් මාස දෙකෙන් අවසන් කල යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන්ව තිබුනත් අද එවන් නඩුවක් අවසන් වීමට වසර 10ක් පමණ කල් ගත වන්නේ විනිසුරුවන්ගේ මදි පාඩුව නිසා බවද අධිකරණ අමාත්‍යවරයා එහිදී පෙන්වා දෙන ලදී.

මේ වන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5000කුත් අභියාචනාධිකරණයේ නඩු 4000කුත් සිර වී තිබෙන බවද පෙන්වා දෙන සබ්‍රි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 11 සිට 17 දක්වාත් අභියාචනාධිකරණයේ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 12 සිට 20 දක්වා වැඩි කිරීමටත් කටයුතු කරන බව සඳහන් කරන ලදී.

කිසිදු දේශපාලන අත පෙවිමකින් තොරව මෙම පත්වීම් ලබා දෙන බැවින් අභියාචනාධිකරණයේ සිටින ජේෂ්ඨයින් ඒ සඳහා පත් කරන බවද සබ්‍රි මහතා පෙන්වා දෙයි.

ජනපතිවරයාට, අගමතිවරයාට නාමල් රාජපක්ෂ හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට එරෙහිව යහපාලන ආණ්ඩු සමයේ බොරුවට නඩු පැවරූ බවත් තමා එවන් නඩු 35කට පෙනී සිටි බවද අධිකරණ ඇමතිවරයා සඳහන් කරන ලදී.

යහපාලන සමයේ පැවරූ නඩු වලින් චුදිතයන් නිදහස් වන බවට පිරිසක් චෝදනා කරණ බවට පෙන්වා දෙන සබ්‍රි මහතා සාක්ෂි නැත්තම් කරුණු නැත්තම් හේතු නැත්තම් චුදිතයන් නිදහස් වීම සාමාන්‍ය දෙයක් බවද සඳහන් කරයි.

මෙම තීන්දු ලබා දෙන බහුතරයක් විනිසුරුවන් යහපාලන ආණ්ඩුවේ පත් කල අය බවද පෙන්වා දෙන ලදී. 

"හේෂා විතානගේ මන්ත්‍රීවරයා කිසිම පදනමක් නැති පට්ටපල් බොරුවක් මෙතනදී කිව්වා. කොහොම කිව්වද මම දන්නේ නැහැ. ඒ වගේ තුට්ටු දෙකේ වැඩ අපි කරන්නේ නැහැ." යැයි අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා අයවැය විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී සඳහන් කරන ලදී.

මිය ගිය මුස්ලිම් අය සම්බන්ධයෙන් ලෝකයේ අන් රටවල් අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අපටත් අනුගමනය කරන්න ඉඩ දෙන්නැයි අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටි බව ඇත්ත. ඒත් ඒක නීතියට යටින් හෝ තිබෙන නීතිය වෙනස් කරලා කරන්න කියලා අපි ඉල්ලුවේ නැතැයි ද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කරන ලදී.

ඊට පිළිතුරු දෙමින් හේෂා විතානගේ මන්ත්‍රීවරයා සඳහන් කරේ මේ තමා කියන කතාවක් නොව සබ්‍රි මහතා එවන් ප්‍රකාශයක් කල බවට පුවත්පත් වල පළ වන වාර්තා පදනම් කරගෙන තමා එම කතාව කියූ බවත් පාර්ලිමේන්තුවේ උසාවියේ මෙන් බොරුවට කෑ නොගසන ලෙසත්ය.

විතානගේ මහතාගේ එම ප්‍රකාශයට පිළිතුරු දෙමින් සබ්‍රි මහතා සඳහන් කලේ තමා එවැන්නක් කවදා කොතැන ප්‍රකාශ කලේ දැයි ඔප්පු කලොත් තමා දැන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවය.

මිය යන මුස්ලිම් ජාතිකයින් භූමිදානය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බවට සටහනක් අධිකරණ ඇමතිවරයාගේ මුහුණු පොතේ තබා තිබු බවත් මෙම කාරණය දුරදිග ගියේ ඒ හේතුවෙන් බවට විමල් විරවංශ අමාත්‍යවරයාද මිට පෙර ප්‍රසිද්ධියේම සබ්‍රි මහතාට චෝදනා කර තිබිණි.

කොවිඩ්19 හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයින් භූමිදාන කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබුණු බව සඳහන් කරමින් තමා මුහුණු පොතේ සටහනක් තැබූ බව හැකි නම් ඔප්පු කරන ලෙස අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විමල් වීරවංශ අමාත්‍යවරයාට කැබිනට් මණ්ඩල රැස්වීමේදී අභියෝගයක් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සබ්‍රි මහතා එම අභියෝගය කළේ මුස්ලිම් දේහයන් භූමිදානය කිරීමට කැබිනට් මණ්ඩල අවසරය ලැබුණු බව සමාජ මාධ්‍ය හරහා පසුගිය කාලය පුරා පැතිර ගියේ ඒ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යවරයා සිය මුහුණු පොතේ තැබූ සටහනක් නිසා බවට විමල් වීරවංශ අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේදී කළ ප්‍රකාශයට පිළිතුරු ලෙස ය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ මෙම චෝදනාව අලි සබ්‍රි අමාත්‍යවරයා විසින් කැබිනට් මණ්ඩලයේ දී ප්‍රතික්ෂේප කළ බවද දැනගන්නට තිබේ.

Page 1 of 2