April 24, 2024

ඇමති සබ්‍රිට චීනෙන් ලොකු ආධාරයක්

December 08, 2021

දැනට ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ පිහිටා තිබෙන උපරිමාධිකරණ සංකීර්ණ ගොඩනැගිල්ල පූර්ණ චීන රජයේ ආධාර මුදලක් යටතේ අලුත්වැඩියා කිරීම සඳහා 2012 වසරේදී පමණ සිට විවිධ සාකච්ඡා පැවති අතර, වර්තමාන අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි විසින් අමාත්‍යාංශය භාරගැනීමෙන් පසුව චීන රජය සමග සිදු කරන ලද සාකච්ඡාවලින් අනතුරුව මෙම ගොඩනැගිල්ලෙහි අලුත්වැඩියා කිරීම කඩිනමින් සිදු කිරීම සඳහා එකඟතාවයකට පැමිණ තිබෙනවා.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) සිදු වූ අතර, එහිදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ සහ චීන ආර්ථික හා වාණිජ කටයුතු පිළිබඳ උපදේශක ලී ගුවාන්ජ්ගුන් අතර වූ ගිවිසුම අත්සන් කිරීම ද සිදු කෙරුණේ අධිකරණ අමාත්‍යාංශයේ දී යි.

එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති කී ෂැන්හොන්ග් මහතා ද එක් වුණා.

මෙම අලුත්වැඩියාව සඳහා චීන සමූහාණ්ඩුවේ ප්‍රධාන කොන්දේසියක් වූයේ, ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හිස්කර දියයුතු බවයි.

නමුත් අධිකරණ අමාත්‍යවරයා විසින් චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා සමග සිදු කළ සාකච්ඡා අනුව කලාපවලට අධිකරණ සංකීර්ණය වෙන්කර, කලාපයෙන් කලාපයට මෙම අලුත්වැඩියාව සිදු කිරීමට එකඟ වුණා.

මෙම අලුත්වැඩියාව සම්පූර්ණයෙන්ම ආපසු නොගෙවීමේ ආධාර මුදලක් ලෙස ලැබෙන රුපියල් මිලියන 7680ක වියදමින් සිදු කිරීමට නියමිත අතර, දැනට අමාත්‍යාංශය පවත්වාගෙන යන ගොඩනැගිල්ල අභියාචනාධිකරණයට ලබාදීමට කටයුතු සැලසුම් කර තිබෙනවා.

මෙහිදී සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියගේ කාලයේ සිට දිගු කාලයක් තිස්සේ දෙරට අතර පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගත යුතු බව සඳහන් කළ අධිකරණ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෙරටෙහි ප්‍රධාන ප්‍රශ්න සම්බන්ධයෙන් චීන රජය ඉතා සංවේදීව කටයුතු කර ඇති අතර, විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට එල්ල වූ මානව හිමිකම් කඩකිරීමේ චෝදනාවලදී පවා අප හට ශක්තියක් වීමට චීන රජය අමතක නොකළ බවයි.

මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් ද එක් වුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 20:32