April 26, 2024

"ඉදිරියේදී රැඩිකල් තීන්දු ගන්නවා..සජිත් තමයි අපිට හොඳ" - ඇමති ජොන්ස්ටන්

මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ උන්නතිය වෙනුවෙන් ඉදිරියේදී රැඩිකල් තීන්දු තීරණ ගන්නා බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ 2022 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කරමින් බත්තරමුල්ල මහාමාර්ග අමාත්‍යංශයේ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (03) පැවති උත්සවය අමතමිනි.

එහිදී අමාත්‍යවරයා මෙසේද පැවසුවා.

"ඉතිහාසයේ මා දැක්ක දීර්ඝතම වාහන පේලිය අද තමයි දැක්කේ. මේක තමයි මහාමාර්ග අමාත්‍යාංශයට තිබෙන අභියෝගය. අද මට පිංතූර ගණනාවක් ලැබුණා අධිවේගී මාර්ග වල පිටවීමේ දොරටු අසල ඇති වී තිබුණු වාහන තදබදය පිළිබදව. අමාත්‍යාංශයක් හැටියට අපි මේවාට විසදුම් සෙවිය යුතුයි. දැන් මේ වාහන තදබදය ඇති වීම නිසා පක්ෂ විපක්ෂ සියලුම දෙනා රජයට දොස් කියනවා. මේ නිසා මේ සෑම අභියෝගයකටම අමාත්‍යාංශයක් හැටියට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එම නිසා මේ අලුත් අවුරුද්දේ අපි අලුත් විදිහට හිතලා වැඩ කරමු. අමාත්‍යාංශයේ සහ අධිකාරියේ උන්නතිය වෙනුවෙන් සමහර රැඩිකල් තීන්දු තීරණ අපිට ගන්න සිද්ධ වෙනවා. එසේ තීන්දු තීරණ අරගෙන වෙනස් වීම් සිදු කලහොත් මීට වඩා ඵලදායී ලෙස වැඩ කටයුතු කල හැකි බව මම විශ්වාස කරනවා. එසේ තීන්දු තීරණ නොගතහොත් අපිට එක තැන පල්වෙන්න සිද්ධ වෙනවා.

වෙනස් විය යුතු තැන් වෙනස් කරලා මේ අමාත්‍යාංශය ඉහල මට්ටමකට ගෙන එන්න අපි කටයුතු කරනවා. ඔබ සහ මම බලාපොරොත්තු වෙන්නේ සීඝ්‍රගාමී සංවර්ධනයක්. පසුගිය වසර එකහමාර තුල ඔබත් අපිත් රැකෙන ලෙස තීන්දු තීරණ අරගෙන අපි වැඩකටයුතු සිදු කලා. පසුගිය කොවිඩ් වසංගත කාලසීමාව තුල ඔබ සේවයට පැමිණ ගෙන යන විට ගෙදර සිටින ඔබගේ සමීපතයින්ට මරුවා ගෙන යන තත්ත්වයකට ඔබට පත්වෙන්න සිදු වුණා. තත්ත්වය එසේ තිබියදීත් සේවට පැමිණ ඔබෙන් රටට ජාතියට සිදු විය යුතු සේවය නොපිරිහෙලා ඉටු කලා. ජනතා බදු මුදලින් වැටුප් ලබන රජයේ සේවකයකු ලෙස එදා ඔබ කල කැපවීම අපි කවදාවත් අමතක කරන්නේ නැහැ. එය අපි අගේ කරනවා. රටේ ජනතාවට දැඩි විශ්වාසක් තියනවා මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් කියලා. ජනතාවගේ ඒ විශ්වාසය තහවුරු වෙන්නේ ඔබත් අපිත් ඔවුන් වෙනුවෙන් කරනා සේවය තුලිනි.

අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍යයේ දැක්ම යථාර්තයක් බවට පත් කරමින් රටේ ජනතාවට සුවපහසු මාර්ග පද්ධතියක් ගොඩ නැගීමට අපි සියළු දෙනා කැප වී කටයුතු කරමු. අළුත් විදිහට හිතලා අපි අපේ ඉලක්ක වෙත ලගා වෙමු. මේ වසරේ මාගේ එකම පැතුම අපේ රට දියුණු රටක් බවට පත්වේවා යන්නයි. "

ඉදිරියේදී කැබිනට් සංශෝධනයක් එනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ජනාධිපතිතුමාට ඕනෑම අවස්ථාවකදී කැබිනට් සංශෝධනයක් කරන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමාට අයිති වැඩක්. ඒ නිසා ජනාධිපතිතුමාගෙන් තමයි අහන්න ඕනේ කැබිනට් සංශෝධනයක් එනවද නැද්ද කියලා. ජනාධිපති බලතල මට නැහැ. ජනාධිපති බලතල තියෙන්නේ ජනාධිපතිතුමාට. කැබිනට් සංශෝධනයකට, අමාත්‍යාංශ ලේකම්වරු පත්කරන්න මේ හැම දෙයක්ම ජනතාව බලය දීල තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට. ඒනිසා එතුමාට ඕනෑම වෙලාවක, අද රැ දොලහට වුණත්, අවුරුද්දේ මුල වුණත්, මැද වුණත්, අග වුණත් කරන්න පුළුවන්."

කැබිනට් සංශෝධනයකට මේ අවස්ථාවේදී අවශ්‍යතාවයක් තියෙනවා දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ජනාධිපතිතුමාට අවශ්‍යතාවයක් තිබුනොත් එතුමා කැබිනට් සංශෝධනයක් ගෙන එයි. ඒ අවශ්‍යතාවය ජනාධිපතිතුමා තමයි තීන්දු කරන්න ඕන."

කැබිනට් සංශෝධනයෙන් රටේ මේ වන විට ඇති වී තිබෙන ගෑස්, ඩොලර් වැනි ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙයි දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ගෑස් ප්‍රශ්නය රටේ තියෙන ප්‍රශ්නයක්. එහි සභාපතිවරයා සහ ඒ පත් කරපු නිලධාරීන් හරියට වැඩ කරන්නෙ නැති හින්දා තමයි මේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. නත්තල් කාලයේ ගෑස් හිඟයක් ආවේ ඒ නිසායි. ඒ නිසා මම එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා, වගකීම් භාර ගෙන තියෙන අය ඒවා හරියට ඉටු කරන එක මේ රටේ ජනතාවට කරන යුතුකමක්."

අමාත්‍යංශ වල ලේකම්වරු මාරු කරලා මේ රටේ ඇති වී ඇති ප්‍රශ්න විසදන්න හැකි දැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා,

"ජනාධිපතිතුමාට හිතනවනම් ලේකම්වරු හරියට වැඩ කරන්නේ නැහැ කියලා ඒ ලේකම්ව මාරු කල යුතුයි. ජනාධිපතිතුමාට හිතෙනවනම් ඇමති කෙනෙක් හරියට වැඩ කරන්නේ නැහැ කියලා ජනාධිපතිතුමා ඔහුව ඉවත් කරයි. ඒවා කළ යුතුයි. ඒවට තමයි රැඩිකල් තීන්දු තීරණ කියන්නේ."

සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේ ආණ්ඩුව  සියඹලාන්ඩුවේ මරණාධාර සමිතියක් වගේ කියලා යැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අමාත්‍යවරයා...

"ප්‍රේමදාස මහත්තයා ගැන මම මුකුත් කියන්න යන්නේ නැහැ. එතුමා වගේ විපක්ෂ නායකයෙක් තමයි අපිට හොඳ. රනිල් වික්‍රමසිංහ මහත්තයා හිටියා වගේ. එතුමා සියඹලාණ්ඩුවට ගිහින් එකක් කියනවා. හම්බන්තොටට ගිහිං එකක් කියනවා. ඊළඟට නෝනත් එක්ක වයින් බිබී කෝටි ගණන් මුදල් වැය කරමින් පාටි දානවා. එතුමා පොළට ගිහින් කියන්නේ ආර්ථිකය වැටිලා, සල්ලි නැහැ, කන්න නැහැ කියනවා. නමුත් එතුමා සවසට බාල් නටනවා. එතුමා වගේ විපක්ෂ නායකයෙක් ඉන්න එක අපිට හොඳයි. ජනතාව ගියපාර එතුමාට හරි උත්තරයක් දුන්නා. ඉදිරියේදිත් ප්‍රාදේශීය සභා පළාත් සභා ඡන්දය එහෙම තිබුනහම තේරෙයි එතුමගේ තත්ත්වය මොකක්ද කියලා."

 

Rate this item
(0 votes)

Related items