May 12, 2024

"ආනන්දලා කොච්චර ඉන්නවද ලංකාවේ" - කලකිරී අස් වූ දොස්තර ගැන හේමන්ත අමුතු කතාවක

September 06, 2021

කොවිඩ් මර්දන තාක්ෂණික කමිටුවේ සාමාජිකත්වය දැරූ විශේෂඥ වෛද්‍යවරයෙකු, තමා තවදුරටත් එම කමිටුවේ සිටීමෙහි පළක් නොමැති බව පවසමින් ඉල්ලා අස්වී ඇති බවට වූ පුවතක් අප මීට පෙර වාර්තා කළා.

කෙසේ වෙතත් මේ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ.

මීට සුළු වේලාවකට පෙර අවසන් වූ මාධ්‍ය හමුවක් අතරතුර දී මාධ්‍යවේදීන් මෙම සිදුවීම පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ප්‍රශ්ණ කොට සිටි අවස්ථාවේ දී ඔහු මේ බව ප්‍රකාශ කළා.

කොවිඩ් තාක්ෂණික කමිටු ගණනාවක් ඇති බැවින් මෙලෙස වෛද්‍යවරයෙකු ඉල්ලා අස්වී ඇති බවට පැවසෙන කමිටුව කුමක්දැයි කිව නොහැකි බව ද ඔහු සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් මෙම සෑම කමිටුවකම සිටින සාමාජිකයින් විටින් විට ඉවත්වන බවත් විටින් විට අලුත් පුද්ගලයින් සාමාජිකයින් ලෙස එකතුවන බවත් ඔහු පෙන්වා දුන්නා.

හේමන්ත හේරත් මහතා එලෙස පැවසීමෙන් අනතුරුව මාධ්‍ය හමුවට සහභාගී වූ මාධ්‍යවේදියෙකු මේ පිළිබඳව තවදුරටත් ප්‍රශ්ණ කළ අතර එහි දී එම මාධ්‍යවේදියා සහ හේමන්ත හේරත් මහතා අතර ඇතිවූයේ මෙවන් සංවාදයක්.

මාධ්‍යවේදියා: “දැන් මේ වාර්තාව තියෙනවා මගෙ ලඟ. ආනන්ද වික්‍රමසිංහ මහත්තයා තමයි අයින් වෙලා තියෙන්නේ.”

වෛද්‍ය හේරත්: “කවුද?”

මාධ්‍යවේදියා: “ආනන්ද වික්‍රමසිංහ. විශේෂඥ වෛද්‍ය.”

වෛද්‍ය හේරත්: “අ.. ආනන්ද වික්‍රමසිංහ කෙනෙක්…”

මාධ්‍යවේදියා: “එතුමා ඉන්නේ කොවිඩ් 19 රෝග මර්ධන තාක්ෂණික කමිටුවේ. ඉල්ලා අස්වෙලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ.”

වෛද්‍ය හේරත්: “ආනන්ද….?”

මාධ්‍යවේදියා: “වික්‍රමසිංහ. ඔබතුමා දන්නැද්ද ඒ කියන්නේ?”

වෛද්‍ය හේරත්: “නෑ ඉන්න. ආනන්දලා ඉන්නවා. වික්‍රමසිංහ කෙනෙක් නැති නිසයි.. සමහරවිට නම වැරදිලාද දන්නෙ නැහැ. අපි හරි නම හොයාගෙන බලලා විස්තර ගනිමු එහෙමනම්.”

මාධ්‍යවේදියා: “ඒ කියන්නේ ආනන්ද කියලා කෙනෙක් ඉන්නවාද?”

වෛද්‍ය හේරත්: “ආනන්දලා කොච්චර ඉන්නවද ලංකාවේ..”

රෝගය පාලනය කිරීම සඳහා රජය ගන්නා ක්‍රියාමාර්ග සාධනීය නැති බවත්, අනාගතයේ දී සිදුවන ව්‍යසනකාරී තත්ත්වයට තමාට වගකීමට නොහැකි බව සඳහන් කරමින් මෙම විශේෂඥ වෛද්‍යවරයා ඉල්ලා අස් වී ඇති බවට යි වාර්තා වූයේ.

එමෙන්ම මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරි නීතිය සහ එන්නත්කරණ වැඩසටහන වසංගතය පාලනය කිරීම සඳහා පත්කර ඇති තාක්ෂණික කමිටුවේ උපදෙස් මත සිදුවූවක් නොවන බවටත්, එබැවින් එම ක්‍රියාවලිය ප්‍රතිඵල රහිත බවටත් අදාළ වෛද්‍යවරයා චෝදනා කර ඇති බව ද පැවසෙනවා.

එම නිසා රට තුළ උද්ගතව තිබෙන තත්ත්වය යටතේ තමා තවදුරටත් කොවිඩ් මර්දනය හා පාලනය කිරීම සඳහා පත් කර ඇති තාක්ෂණික කමිටුවේ රැඳී සිටීම ප්‍රතිඵලයක් නොමැති බව සඳහන් කරමින් ඉල්ලා අස් වී ඇති බව වැඩිදුරටත් වාර්තා වූවා.

සබැඳි පුවත්: 

Rate this item
(4 votes)
Last modified on Tuesday, 07 September 2021 16:55