May 19, 2024

ඇමතිවරු තිදෙනා කුමන්ත්‍රණකරුවෝ: ජනපති තීන්දුවක් ගත යුතුයි - පොහොට්ටු ලේකම්ගෙන් ප්‍රතිචාර

පොදුජන පෙරමුන සන්ධානයේම හවුල්කාර පක්ෂ 10 ක් රට වසා දමන ලෙස ජනපතිවරයාට ප්‍රසිද්ධ ලිපියක් යැවීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුණ සිය නිල ප්‍රතිචාරය අද (23) දැක්වූවා.

ඒ පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මාධ්‍ය හමුවක් තබමින්.

ආණ්ඩුවට එරෙහි කුමන්ත්‍රණයක්

මෙය ආණ්ඩුව තුළ සිටින කණ්ඩායමක් ආණ්ඩුවට එරෙහිව ගෙන යන කුමන්ත්‍රණයක් බවයි මහ ලේකම්වරයා එහිදී පෙන්වා දුන්නේ.

ඊට හේතුද ඔහු පෙන්වා දෙනවා.

ලිපියට අත්සන් තබා ඇති පිරිස් අතර කැබිනට් ඇමතිවරුද සිටින බව පෙන්වා දෙන මහලේකම්වරයා ඔවුන් ලිපිය ප්‍රසිද්ධ කිරීමට පෙර පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී කැබිනට් මණ්ඩලය සාමූහිකව එකඟ වූ තීරණයට සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධව ගොස් තිබෙන බවයි සඳහන් කරන්නේ.

සාමූහිකව එකඟ වූ තීරණය

එම රැස්වීමේදී රට වසා නොදැමීමට කැබිනට් මණ්ඩලය සාමූහිකව තීරණයක් ගෙන තිබූ බවත් ඊට මෙම ලිපියට අත්සන් තැබූ කැබිනට් ඇමැතිවරුද අනුමැතිය පළකර තිබූ බවයි හෙළිදරව් කරන්නේ.

එහෙත් ඉන් පසුව රට වසා දැමිය යුතු බවට ආණ්ඩුවේම හවුල්කාර පක්ෂ සමග එක්ව සාමූහික ලිපියකට එම කැබිනට් ඇමතිවරුන්ම අත්සන් තැබීම කිසි විටෙකත් අනුමත කළ නොහැකි බව පෙන්වා දෙන මහ ලේකම්වරයා මේ සම්බන්ධයෙන් ජනපතිවරයා දැඩි තීන්දුවක් ගත යුතු බව තම විශ්වාසය බවයි සඳහන් කරන්නේ.

කැබිනට් එක ඇතුලේ අත උස්සා එලියට ගිහින් ඊට විරුද්ධව ලිපි ලියා පුහු  වීරයින් වීමට මේ ඇමතිවරු කටයුතු කරන බවටයි මහ ලේකම්වරයා චෝදනා කරන්නේ.

එහෙත් එම කැබිනට් ඇමතිවරුන් කවුරුන්දැයි යන්න නම් නොකිරීමටද මහ ලේකම්වරයා ප්‍රවේශම් වූ අතර ඔවුන් මීට පෙරද මේ ආකාරයේ කුමන්ත්‍රණ කර තිබෙන බවටද චෝදනා කළා.

සන්ධානගත පක්ෂ වලටත් චෝදනා

එමෙන්ම පොදුජන පෙරමුණ සමග සිටින හවුල්කාර පක්ෂද ආණ්ඩුව තුළ සිටිමින් ආණ්ඩුවේ ස්ථාවරයන්ට එරෙහිව ලිපි නිකුත් කිරීම අනුමත කළ නොහැකි බවද සඳහන් කරන මහ ලේකම්වරයා ඉදිරියටත් මෙවැනි දේ සිදු නොවීම සදහාද දැඩි පියවරක් ගත යුතු බවටත් යෝජනා කරනවා.

පොදුජන පෙරමුන මහලේකම්වරයා චෝදනා කරන කැබිනට් අමාත්‍යවරුන් වන්නේ විමල් වීරවංශ, උදය ගම්මන්පිල හා වාසුදේව නානායක්කාර යන මහත්වරුන් වන අතර මීට පෙර වීරවංශ හා ගම්මන්පිල යන අමාත්‍යවරුන් ඔහු සමග ප්‍රසිද්ධියේම මත ගැටුමක් ඇති කර ගත්තා.

ඉන් ගම්මන්පිල අමාත්‍යවරයා සමඟ ඇති කරගත් මත ගැටුම අවසන් වූයේ විපක්ෂය වන සමිති ජන බලවේගයට ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමටද පාර කපමින්.

එහෙත් මෙතෙක් පොදුජන පෙරමුණ මහා ලේකම්වරයා වාසුදේව නානායක්කාර මහතා සමග ගැටුමක් ඇති කරගෙන තිබුණේ නැහැ.

ඒ අනුව නානයක්කාර මහතාට එරෙහිව ප්‍රථම වතාවටයි මහ ලේකම්වරයා මෙසේ ප්‍රතිචාර දක්වා තිබෙන්නේ.

මෙම මාධ්‍ය සාකච්ඡාවට මහ ලේකම්වරයා සමග නව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතාද සහභාගි වී තිබුණා.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 24 August 2021 01:11