April 25, 2024

මහින්දගේ අසනීප ගැන හෙළිවෙයි - 'අගමැති බැසිල්ට' පොහොට්ටුවෙන් සුබපැතුම් (AUDIO) Featured

වාරුවෙන් ගිය අගමැති

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ඉන්දියාවේ සංචාරය කිරීමේ සිදුවීම පසුගිය දිනවල මහත් ආන්දෝලනාත්මක පුවතක් බවට පත්වූවා.

ඒ සඳහා ඔවුන් අති සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයක් යොදා ගැනීම ඊට ප්‍රධාන හේතුව යි.

අදාළ ජෙට් යානය සඳහා දිනකට වියදම් වූ මුදල රුපියල් මිලියන 32ක් බව විවිධ පාර්ශව අනාවරණය කළා.

මේ අතර මෙම ජෙට් යානය ඉන්දියාවට ගොඩ බෑමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා ඉන් බැස යන අයුරුත්, ගුවන්තොටුපොලෙහි සංවිධානය කර තිබූ පිළිගැනීමේ උළෙලට සහභාගී වූ අයුරුත් දැක්වෙන වීඩියෝ දර්ශන ජන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමග බොහෝ දෙනා අදහස් පළ කොට සිටියේ අග්‍රාමාත්‍යවරයා බොහෝ සෙයින් වයස්ගත හෝ අසනීප වී ඇති බවට යි.

අසළ සිටි අයෙකුගේ වාරුවෙන් ඔහු ගමන් ගැනීම ඊට හේතු වූවා.

ඉල්ලා අස්වීමේ කතාව

මහින්ද රාජපක්ෂ මහතා සිය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට වූ පුවතක් සමාජ ජාල ඔස්සේ පැතිර ගියේ එවන් පසුබිමක යි.

අගමැති ධූරය මහින්ද රාජපක්ෂ මහතාගේ සොයුරු, වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා භාර ගැනීමට සූදානමින් සිටින බව ද එහි දී පැතිර ගියා.

කෙසේ වෙතත් නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ නායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ස්වාමීන්වහන්සේවන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් වහාම මාධ්‍ය කැඳවමින් අවධාරණය කළේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වීමේ කිසිදු සූදානමක් නොමැති බව යි.

එවැනි සූදානමක් පවතින්නේ නම් රාජපක්ෂ මහතා තමන්වහන්සේව දැනුවත් කරන බව උන්වහන්සේ දැඩි විශ්වාසයෙන් කියා සිටියා.

මෙවන් මොහොතක අග්‍රාමාත්‍ය කාර්යාලය ද විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට ඊයේ (03) පියවර ගෙන තිබුණා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් රොහාන් වැලිවිට මහතාගේ අත්සනින් යුතු එහි දැක්වූයේ මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් පවතින බවට වූ පුවත කිසිදු සත්‍යතාවකින් තොර බව යි.

මහජනතාව නොමග යවන මෙවන් ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බව ද අදාළ නිවේදනයේ සඳහන් වූවා.

“මහින්ද වහාම අස්වෙයං කියලා ඉල්ලීමක් කරන්න”

මේ අතර මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (03) නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදුටුවා.

රාජපක්ෂ මහතා උන්වහන්සේ සමග පිළිසඳරෙහි යෙදී පිටව යාමෙන් අනතුරුව ආනන්ද හිමියන් මාධ්‍ය හමුවක් කැඳවමින් අදහස් පළ කොට සිටියා.

එහි දී උන්වහන්සේ ප්‍රකාශ කොට සිටියේ ඉල්ලා අස්වීමේ සූදානමක් බවතින බවට වූ පුවත සම්බන්ධයෙන් තමන් වහන්සේ අගමැතිවරයාගෙන් විමසූ බව යි.

එහෙත් එවන් කරුණක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා හෝ දැනුවත් නොමැති බව යි ආනන්ද හිමියන් පෙන්වා දුන්නේ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමේ උවමනාව ඇත්තේ කාටදැයි සොයා බැලිය යුතු බව උන්වහන්සේ සඳහන් කළා.

කවුරු බලපෑම් සිදු කළත් අග්‍රාමාත්‍යවරයා අස් නොවන බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ අස් වන්නේ නම් තමන්වහන්සේව දැනුවත් කොට එය සිදු කිරීමට ඔහු පියවර ගනු ඇති බවට යි.

මහින්ද රාජපක්ෂ මහතාව අග්‍රාමාත්‍ය ධූරයෙන් අස් කිරීමේ බලාපොරොත්තුවක් ඇති අයෙකු සිටින්නේ නම් "වහෙන් ඔරෝ භාෂාවෙන්" කතා නොකොට "මහින්ද වහාම අස්වෙයං" යැයි ඉල්ලීමක් සිදු කළ යුතු බව යි උන්වහන්සේ තවදුරටත් සඳහන් කර සිටියේ.

දණහිස් ආබාධය

මේ අතර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ වයසට යන විට දණහිස් ආබාධ ඇතිවීම සාමාන්‍ය දෙයක් බව යි.

තමන්වහන්සේ පවා වයසට පත්වෙද්දී එවන් දණහිස් ආබාධ ඇතිවන බව ද උන්වහන්සේ පෙන්වා දුන්නා.

රාජපක්ෂ මහතාගේ එම ආබාධ සුවවනු ඇති බවට ද ආනන්ද හිමියන් පවසා සිටියා.

එමෙන්ම උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කළේ ආගමානුකූලව බැලූ විට මහින්ද රාජපක්ෂ මහතා මහළු වයසට කිට්ටු වූවා පමණක් බව යි.

පසුගිය කාලය පුරාම මහින්ද රාජපක්ෂ මහතා හට පාදවල ආබාධයක් තිබුණු බව ඔහු සහභාගී වූ විවිධ අවස්ථාවල දී නිරීක්ෂණය වූවා.

එමෙන්ම සමාජ ජාල ආදියෙහි ද රාජපක්ෂ මහතා හට දණහිස් ආබාධයක් ඇති බවට කටකතා පැතිර යමින් ඇති පසුබිමක යි රාජපක්ෂ පාලනයට ඉතා සමීප පුද්ගලයෙකුවන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම ආබාධය පිළිබඳ මෙලෙස තහවුරු කළේ.

පොහොට්ටු මන්ත්‍රීගේ අනාවරණය

සිය දිගුකාලීන වෛද්‍යවරයා වූ ඒලියන්ත වයිට් මහතාගේ සේවය ද මේවන විට මහින්ද රාජපක්ෂ මහතාට නොලැබීම විශේෂත්වයක්.

වයිට් මහතා පසුගිය දිනක කොවිඩ් 19 ආසාදනය වී අභාවප්‍රාප්ත වීම ඊට හේතුව යි.

මේ අතර මහින්ද රාජපක්ෂ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල එල්ලාවල මහතා ද තහවුරු කළා.

ඊයේ (03) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළේ රාජපක්ෂ මහතා අසනීපෙන් සිටින බව සහ ඇතැම් අවස්ථාවල දී "අමාරු" තත්ත්වයට ද පත්වන බව යි.

අගමැති වෙන්නත් කලින් බැසිල්ට සුබපැතුම්

මහින්ද රාජපක්ෂ මහතා සිටින එම තත්ත්වය සැළකූ විට බැසිල් රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධූරය භාර ගැනීම සුදුසු බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ආසන සංවිධායකවරයෙකු වශයෙන් තමන් ඒ සම්බන්ධව බැසිල් රාජපක්ෂ මහතාට සුබ පතන බවත් එල්ලාවල මහතා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිර්මාණය කළේ බැසිල් රාජපක්ෂ මහතා බවත්, එම පෙරමුණ ඉදිරිපත් වූ පළමු මැතිවරණයෙන්ම දැවැන්ත ජයක් ලබා ගැනීමට හැකි වූයේ ඔහුගේ නායකත්වය නිසා බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.

කෙසේ වෙතත් සිය පෙරමුණෙහි දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා බව පවසන එල්ලාවල මහතා වැඩිදුරටත් සඳහන් කළේ මහින්ද රාජපක්ෂ මහතාට ධූරයෙන් ඉවත්වන ලෙසට තමන් ඍජුව නොපවසන නමුත් ඔහු සිටින්නේ අපහසු තත්ත්වයක බව මිනිසුන් ලෙස සියළු දෙනා පිළිගත යුතු බව යි.

මේ අතර අග්‍රාමාත්‍යවරයා අසනීප තත්ත්වයෙන් සිටින බවට ඔහුට හිතවත් පාර්ශව විසින්ම මෙලෙස අනාවරණය කරන පසුබිමක මහින්ද රාජපක්ෂ මහතා සිය තිරුපති වන්දනා ගමන සඳහා සාමාන්‍ය මගී ගුවන් යානයක් භාවිත නොකොට විශාල මුදලක් වැය කරමින් අධි සුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානයක් භාවිත කිරීම පිටුපස ඇති හේතුව ද සිය අසනීප සහ අපහසුතා විය හැකි බවට සමාජයේ කතාබහක් හටගෙන තිබෙනවා.

Rate this item
(8 votes)
Last modified on Tuesday, 04 January 2022 11:03