May 15, 2024

රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා ගන්නවාද? රජයේ තීරණය එළියට

රජයේ සේවකයන්ගේ වැටුපෙන් අඩක් කපා හැරීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

නමුත් විවිධ අර්බුද අවස්ථාවලදී ජනතාව රට වෙනුවෙන් විවිධ කැපවීම් කර ඇතැයිද හෙතෙම සඳහන් කළා.

මෙවැනි අවස්ථාවකදී සියලු දෙනා පරිත්‍යාග කිරීම් කළහොත් එදිනෙදා ජීවනෝපාය කරගෙන ජීවත්වන අයට කිසියම් සහනයක් සැලසීමට හැකි වනු ඇතැයි ප්‍රසන්න රණතුංග ඇමතිවරයා යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව පැවසූ වෙළඳ ඇමැතිවරයා පවතින තත්වය හමුවේ දෙස් විදෙස් සියලූදෙනාගේ පරිත්‍යාග රජය බලාපොරොත්තු වන බවද කියා සිටියා.

රට දින 14 කට වැසිය යුත්තේ මැති ඇමතිවරුන් හා රජයේ සේවකයන් තමන්ගේ මාසික වැටුපෙන් අඩක් රජයට පරිත්‍යාග කිරීමට එකඟ වන්නේ නම් පමණක් බව ඉකුත්දා රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළා.

මේ අතර රට වසා තබන කාලසීමාවේදී තමා ඇතුළුව සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුපෙන් සියයට 75ක් කොවිඩ් මර්දන අරමුදලට කපා හරින්නැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලිීමක් කර තිබුණා.

එම ලිපියෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් යෝජනා කර තිබුණේ සෞඛ්‍ය, ආරක්ෂක නිලධාරීන් හැර අනෙකුත් අයගෙන් ද මෙසේ වැටුප් කපා ගැනීමක් සිදු කරන ලෙසයි.

ඒ පිළිබඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගෙන් විමසීමක් කළා. ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

Rate this item
(1 Vote)
Last modified on Sunday, 22 August 2021 01:55