May 17, 2024

ආදාහනාගාර මදිවන ලකුණු! සිරුරු පිළිස්සීමට පාන් පෝරණුත්?

මේවන විට වාර්තාවන ආකාරයට දිගින් දිගටම කොවිඩ් රෝගීන් මියයාම සිදු වුවහොත් මළ සිරුරු පිළිස්සීම සඳහා ආදාහනාගාර මදිවන තත්ත්වයක් මතු විය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියෝ සඳහන් කරන්නේ මළ සිරුරු පිළිස්සීමට රටේ පවතින පාන් පෝරණු ද භාවිත කිරීමට සිදු විය හැකි බව යි.

ආණ්ඩුව සහ අදාළ බලධාරීන් කොවිඩ් මර්ධනය පිළිබඳ මාධ්‍ය සංදර්ශන පවත්වන බවත්, එම සන්දර්ශන වහාම නවතාලිය යුතු බවත් ආනන්ද හිමියන් අවධාරණය කරනවා.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ අවැසි වේලාවට රට නොවසා දැන් රට වසා දැමීම පිළිබඳ කතා කිරීම පවා නිශ්ඵල කාර්යයක් බව යි.

මේවන විට මෙරට සිදුවන සංවර්ධන කටයුතු පවා වහා නවතාලිය යුතු බවත් ඉදිරි තත්ත්වයට රටත් ජනතාවත් සූදානම් විය යුතු බවත් උන්වහන්සේ සඳහන් කරනවා.

ගුරු-විදුහල්පති වැටුප් ගැටළුව පිළිබඳව ද උන්වහන්සේ අදහස් දැක්වූ අතර ආනන්ද හිමියන් ප්‍රකාශ කළේ මේ අවස්ථාවේ ගුරු විදුහල්පතිවරුන් කරන උද්ඝෝෂණය එක ආණ්ඩුවක් විසින් බාරගත යුතු ප්‍රශ්නයක් නොව පැවති සෑම රජයක්ම එහි වගකීම බාරගත යුතු ගැටළුවක් බව යි.

කෙසේ වෙතත් මෙය උද්ඝෝෂණය කළ හැකි අවස්ථාවක් නොවන බව ද උන්වහන්සේ අවධාරණය කළා.

එමෙන්ම දේශපාලන පක්ෂ තර කර ගැනීම සඳහා කෙරෙන උද්ඝෝෂණ නතර කර කොවිඩ් නිසා බියට පත්වී සිටින ජනතාව සුවපත් කිරීම සැමගේ ප්‍රමුඛ වගකීම විය යුතු බවයි මුරැත්තෙට්ටුවේ නාහිමියෝ වැඩිදුරටත් පෙන්වා දුන්නේ.

Rate this item
(0 votes)