May 18, 2024

ගොඩගැසුණු කොවිඩ් සිරුරු ආදාහනයට! ආදාහානාගාර පැය 24 පුරා විවෘත කරයි

උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දැනට පවතින කොවිඩ් මෘත දේහ කඩිනමින් ආදාහන කටයුතු සිදු කිරීම හා නැවත ප්‍රමාදයක් සිදු නොවන පරිදි අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳව සොයා බැලීම සඳහා විශේෂ සාකච්ජාවක් ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (07) දින උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී පැවැත්වුණා.

ඒ අනුව රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ආදාහන කටයුතු ප්‍රමාද වෙමින් පැවති කොවිඩ් මෘත දේහ 26ක් කඩිනමින් මහර, වත්තල, බියගම, ජා ඇල, කටාන හා මීගමුව යන නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටි ආදාහනාගාර වෙත යැවීමට කටයුතු කරනු ලැබීය.

මෙය අතිශය මානුෂීය කරුණක් වන බැවින් හා ඔවුන්ගේ ඥාතීන් අපහසුතාවවට පත් නොවන අයුරින් මෙම කටයුතු සිදු කරනු ලැබේ. එම බල ප්‍රදේශවල නගරාධිපතිවරුන් හා ප්‍රාදේශීය සභා සභාපතිවරුන් අදාළ සම්බන්ධීකරණ කටයුතු සිදු කරනු ඇත.

ගම්පහ තවත් ආදාහනාගාර සූදානම් කරයි

කොවිඩ් හේතුවෙන් මිය යන අයගේ ආදාහන කටයුතු ප්‍රමාද නොවන පරිදි හා මෘත ශරීරාගාරයේ මෘත දේහ තැන්පත් කළ හැකි සීමාව ඉක්මවා නොයන ලෙස පවත්වාගෙන යාම සඳහා ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, සෞඛ්‍ය අංශ, ත්‍රිවිධ හමුදාව, පොලීසිය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු රජයේ නිලධාරීන් අතර මනා සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට මෙහිදී තීරණය වී තිබෙනවා.

ඒ අනුව උතුරු කොළඹ ශික්ෂණ රෝහලට ආසන්නයේ ඇති මහර, වත්තල, ජා ඇල, කටාන, බියගම, මීගමුව නගර සභා හා ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල පිහිටා ඇති ආදාහනාගාර තුළ කොවිඩ් මෘත දේහ ආදාහන කටයුතු සිදු කරලීමටත්, අවශ්‍යතාවය මත ගම්පහ දිස්ත්‍රික්කයේ අනෙකුත් ආදාහනාගාරත් යොදා ගැනීම සඳහා අදාළ සම්බ්න්ධීකරණ කටයුතු ප්‍රාදේශීය සභා සභාපතිවරුන්, නගරාධිපතිවරුන් හා ආරක්ෂක අංශ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් යුතුව සෞඛ්‍ය අංශවලට අවශ්‍ය සහායෝගය ලබාදීමට මෙහිදී තීරණය කර තිබෙනවා.

ගොඩගැසුණු කොවිඩ් සිරුරු ආදාහනයට

මේ අතර කළුතර මහ රෝහලේ සහ පානදුර මූලික රෝහලේ ගොඩගැසී තිබූ කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන්ගේ මල සිරුරු ආදාහනය ආරම්භ කළ බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පවසනවා.

කළුතර දිස්ත්‍රික්කයේ රෝහල්වල හදුනානොගත් මල සිරුරු තිබීම නිසා ප්‍රමිතියකට ගබඩා කිරීමේ අපහසුතාවක් ඇති වූ බවත් එම සිරුරු පිළිබඳ අවසන් කටයුතු කිරීමට පැය 24 පුරා ආදාහානාගාර විවෘතව තබන බවත් වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කළා.

කළුතර දිස්ත්‍රිකයේ රෝහල් රැසක මලසිරුරු 50 කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරනවා. 

මතුගම, දොඩන්ගොඩ, අලුත්ගම, පොතුවිල, වස්කඩුව, හිමිදිරියාව, කළුතර උතුර සහ මිනුවන්පිටිය යන ආදාහනාගාරවලදී මෙම සිරු ආදාහනය කර ඇත.

Rate this item
(0 votes)