May 15, 2024

වෛද්‍ය සංගමයෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! එකම විසඳුම ගැනත් කියයි

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මඟින් මෙරට කොරෝනා වසංගත තත්ත්වය පිළිබඳව ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා.

එහිදී එම සංගමය විසින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාව තුළ ගත වන සෑම පැයකටම කොවිඩ්-19 වසංගතය ගොදුරු වී සිදුවන මරණ 03ක් වාර්තා වන බවයි.

එම සංගමයේ උප සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අවධාරණය කර සිටින්නේ මෙරට ඩෙල්ටා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ශ්‍රී ලංකාව කොරෝනා වංසගතයේ 4 වෙනි රැල්ලක් සඳහා ගමන් කරමින් සිටින බවයි.

පසුගිය 04 වෙනිදා මෙරටින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වන මරණ 82ක් සමඟ ඩෙල්ටා වෛරසයේ බලපෑම පැහැදිළිව දකින්නට ලැබෙන බවද ඒ මහතා අවධාරණය කර සිටියා.

කොළඹ ජාතික රෝහලේ පවා මේ වන විට ඉඩ නොමැති තත්ත්වයක් ඇතිව තිබෙන අතර එම රෝහලේ පුද්ගලයින් 600ක් පමණ ප්‍රතිකාර ලබමින් සිටින බවද පවසා සිටියා. රෝහලේ ඉඩ නොමැති වීම නිසා රෝගීන් බිම තබා ප්‍රතිකාර කිරීමේ තත්ත්වයක් ඇතිව තිබෙන බවද ඒ මහතා වැඩිදුරටත් පවසා තිබුණා.

වසංගතය පාලනය කිරීම සඳහා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩසටහන අවසන් වනතුරු හෝ ඉතා කෙටි කාලයකට සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බව පෙන්වා දෙන සංගමය තවදුරටත් සඳහන් කරන්නේ එය එකම විසඳුම බවයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 07 August 2021 01:50