May 19, 2024

ඇමතිවරුන්ට හිතුමතේ වැඩ බෑ - ලොකු පුටු මාරුව ගැන ජනපති ලේකම්ගෙන් නියෝගයක් Featured

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිත නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයාගේ අභිමතය පරිදි රාජ්‍ය ව්‍යවසායන්, ආයතන, සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට පත්කළ පුද්ගලයින් සාධාරණ හේතු ඉදිරිපත් කිරීමකින් තොරව ඉවත් නොකරන ලෙස ඇමතිවරුන්ට දැනුම් දෙන ලෙස සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට ලිඛිතව දැනුම් දෙමිනි.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර එම දැනුම්දීම සිදු කර ඇත්තේ, වරින්වර සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරු වෙනස් කිරීම සඳහා ඇමතිවරුන්ගෙන් ඉදිරිපත්වන ලිඛිත ඉල්ලීම් පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතිබව සඳහන් කරමිනි. 

එවැනි සංශෝධන ක්‍රියාත්මක වීමෙන් දැනටමත් සැලසුම් කර ඇති හා ක්‍රියාත්මක වෙමින් පවතින වැඩ කටයුතුයුතුවල වේගයට බාධා ඇති කළ හැකි බව ජනාධිපති ලේකම්වරයාගේ අදහස වී තිබෙනවා. 

මෙවැනි පසුබිමක් තුල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් වෙනස් කිරීම සඳහා සාධාරණ හේතු ඉදිරිපත් කිරීම අවශ්‍ය බවත්, නාමයෝජනා ඉදිරිපත් කිරීමේදී නියමිත සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන් තේරීම් මණ්ඩලය වෙත ලබාදිය යුතු බවත් ජනාධිපති ලේකම්වරයා දැනුම් දී සිටියි. 

එබැවින් මේ සම්බන්ධයෙන් අමාත්‍යවරුන් දැනුවත් කර නිර්දේශිත ක්‍රියාපටිපාටිය අනුගමනය කරන ලෙස ජනාධිපති ලේකම්වරයා සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 01 July 2021 07:35

Related items