May 05, 2024

ඵල ඇති රුකටයි ගල් ගහන්නේ: මමත් එහෙම ගහක් - ඇමතිගෙන් විශ්වාසභංගයට පිළිතුරු

සමගි ජන බලවේගය තමාට එරෙහිව ගෙන ඒමට සූදානම් වන විශ්වාසභංග යෝජනාව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පොඩි එකාගේ ලියුමක් ලෙසයි.

තමන්ට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබූ සමගි ජන බලවේග එක් මන්ත්‍රීවරයෙක් අත්සන් තැබූ විගසම තමාට එහි පිටපතක් ලැබීමට සැලසූ බව පෙන්වා දෙන ගම්මන්පිල අමාත්‍යවරයා එහි තිබෙන කරුණු එකිනෙකට පරස්පර බවයි අවධාරණය කරන්නේ.

විශ්වාසභංගය මට නෙමෙයි සජිත්ට එරෙහි එකක්

තෙල් මිල වැඩි කිරීමේ වගකීම තමන් නොව සමස්ත ආණ්ඩුවම ගත යුතු බවට මීට ටික දිනකට පෙර විපක්ෂ නායකවරයාද වන සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කළ බව පෙන්වා දෙන අමාත්‍යවරයා දැන් ඔහුගේ ගෝලබාලයන් ඊට ප්‍රතිවිරුද්ධ මතයක් දරමින් විශ්වාසභංග යෝජනාවකට අත්සන් තබන්නේ තමන්ට එරෙහි නොව සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව බවත් පෙන්වා දෙනවා.

තමාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමෙන් තහවුරු වන්නේ සජිත් ප්‍රේමදාස මහතා එදා නිකුත් කළ එම නිවේදනය පක්ෂයේ මන්ත්‍රීවරුන් ප්‍රතික්ෂේප කරන බව පෙන්වා දීමක් බවයි අමාත්‍යවරයාගේ මතය වන්නේ.

ඵල ඇති රුකටයි ගල් ගහන්නේ

පල ඇති රුකට ගල් ගසන බව පෙන්වා දෙන අමාත්‍යවරයා තමාද එවැනි ඵල ඇති රුකක් බව පෙන්වා දෙන අමාත්‍යවරයා තමා පළාත් සභා අමාත්‍යවරයෙකුද සිටියදීද ගෙන ආ විශ්වාසභංගයක් පළාත් සභාවේ ආණ්ඩු සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහයෝගයෙන් පරාජය කළ හැටි මතක් කර දෙනවා.

ගම්මන්පිල අමාත්‍යවරයා මෙම අදහස් පල කරන්නේ සමගි ජන බලවේගය චෝදනා දහයක් මුල්කොටගෙන තමන්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට වන සූදානමට සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

බලශක්තිය අමාත්‍යවරයාට එරෙහි විශ්වාස භංගයට අත්සන් තැබීම අද (16) සිදු කෙරුණා.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 June 2021 19:57