May 14, 2024

ඔබ අපට විශ්වාසයි.. බොහෝ වෙනස්කම් සිදුවිය යුතුයි - ඇමැති දිනේෂ්ට ලිපියක්

වත්මන් දේශපාලන තත්ත්වයන්ට අනුරූපී වන පරිදි මැතිවරණ ක්‍රමයේද බොහෝ වෙනස්කම් සිදුවිය යුතු යැයි විශ්වාස කරන බව පැෆ්රල් සංවිධානය පවසයි.

එම සංවිධානය මැතිවරණ ක්‍රමයේ සංශෝධනයන් පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපතිවරයා වන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් සඳහන් කරන්නේ මැතිවරණ ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්  සංශෝධන ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කිරීම වෙනුවෙන් වත්මන් රජයට ප්‍රසාදය පල කරන බවයි.

දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා වැනි පරිණත දේශපාලනඥයෙකු මෙම තේරීම් කාරක සභාවේ සභාපතීත්වය හෙබවීම තුළ ජනතා අපේක්ෂාවන්ට සාධාරණයක් ඉටුවේ යැයි විශ්වාස කරන බවද එම ලිපියේ සඳහන් වේ.

එම ලිපිය පහතින්,

දිනේෂ්  ගුණවර්ධන  මැතිතුමා,
මැතිවරණ  ක්‍රමයේ සංශෝධනයන් පිළිබඳ පාර්ලිමේන්තු  තේරීම්  කාරක සභාවේ  ගරු සභාපති ,
ජනරජ ගොඩනැගිල්ල ,
ශ්‍රීමත්  බාරොන් ජයතිලක මාවත,
කොළඹ  01.
12-05-2021

ගරු අමාත්‍යතුමනි,


මැතිවරණ  ක්‍රමයේ සංශෝධන  පිළිබඳව සොයා  බැලීමට පාර්ලිමේන්තු  තේරීම්  කාරක සභාවක් පත්කිරීම


මැතිවරණ  සහ ජන්ද විමසීම්  ව්‍යුහය නීති රීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් සොයා බලා සංශෝධන  ඉදිරිපත් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු  තේරීම්  කාරක සභාවක් පත්කිරීම  වෙනුවෙන් වත්මන් රජයට අපගේ ප්‍රසාදය  පල කර සිටිමු.

එමෙන්ම පසුගිය මැතිවරණ  කොමිෂන් සභාව මෙන්ම වත්මන් මැතිවරණ  කොමිෂන්  සභාවද මැතිවරණ  ක්‍රමයේ ප්‍රතිසංස්කරණ  වෙනුවෙන් බොහෝ කාලයක සිට විවිධ මැදිහත්වීම්  සිදුකල අතර  පාර්ලිමේන්තු  තේරීම්  කාරක සභාවක් පත්කිරීම දක්වාවූ  ක්‍රියාවලියේ ඔවුන්ද සාධනීය මැදිහත්වීමක් සිදුකල පාර්ශවයක් බව විශ්වාස කරන අප මැතිවරණ කොමිෂන්  සභාවටද අපගේ ප්‍රණාමය පුද කර සිටිමු.

මැතිවරණ ප්‍රතිසංස්කරණ  ගණනාවකට  නායකත්වය  දෙමින් වත්මන් සමාජය මැතිවරණ ක්‍රමය තුළ  අත්විඳින ජයග්‍රහණ  යථාර්ථයක්  කිරීම වෙනුවෙන් මහත් කාර්යභාරයක් ඉටුකල දිනේෂ් ගුණවර්ධන  මහතා වැනි පරිණත දේශපාලනඥයෙකු මෙම තේරීම්  කාරක සභාවේ සභාපතීත්වය හෙබවීම තුළ ජනතා අපේක්ෂාවන්ට සාධාරණයක් ඉටුවේ යැයි විශ්වාස කරන අප  ඒ පිළිබඳව ද අපගේ ප්‍රසාදය පලකර සිටිමු.

මැතිවරණ  නිරීක්ෂණ  සංවිධානයක් ලෙස අප ගතවු දශක 3 ක කාලය තුළ  මැතිවරණ  ප්‍රතිසංස්කරණ  වෙනුවෙන් විවිධ මැදිහත්වීම් සිදුකර ඇති අතර  සමහර මැදිහත්වීම්වල  ජයග්‍රහණ  සමාජය භුක්ති විඳිමින් පවතී.

වත්මන් දේශපාලන තත්ත්වයන්ට අනුරූපී වන පරිදි මැතිවරණ  ක්‍රමයේද  බොහෝ වෙනස්කම්  සිදුවිය යුතු යැයි විශ්වාස කරන අප ඒ වෙනුවෙන් ඔබ  තේරීම්  කාරක සභාව වෙත අපගේ  උපරිම සහයෝගය ලබාදීමටත් අදහස් හා යෝජනා ලබාදෙමින් තේරීම්  කාරක සභාව සමග සමීපව  කටයුතු කිරීමට අපේක්ෂාවෙන්  සිටින බවත් වැඩි දුරටත් දන්වා සිටිමු.

රෝහණ  හෙට්ටිආරච්චි ‍
විධායක අධ්‍යෂක

Rate this item
(0 votes)