May 20, 2024

ගම්මන්පිල රහස් පෙට්ටගම අරියි: හෙළ උරුමය පන්නපු හැටි කියයි

2015 ජනාධිපතිවරණය ආසන්නයේ ජාතික හෙළ උරුමය එවකට පැවැති මහින්ද රාජපක්ෂ රජයෙන් ඉවත්ව යෑම පිටුපස ඇති රහස් උදය ගම්මන්පිල අමාත්‍යවරයා හෙළිදරව් කරයි.

2015 ජනපතිවරණය ආසන්නයේ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්ව ගියේ ඒ අවස්ථාවේද අද මෙන් ඒ ආණ්ඩුවේ සිටි අදෘශ්‍යමාන දේශපාලන බලවේගය ජාතික හෙළ උරුමය පිළිබඳ අවතක්සේරුවක් කිරීම නිසා බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

2015 ජනපතිවරණය ආසන්නයේ ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ රජය තුළ තබා ගැනීමට එවකට ජනපති මහින්ද රාජපක්ෂ සහ අගමැති දි.මු. ජයරත්න යන මහත්වරුන්ගේ අනුමැතිය මත තමන් සහ ඩලස් අලහප්පෙරුම මහතා ඉතා සාර්ථක සාකච්ඡා වට කිහිපයක් තමන් ද නියෝජනය කළ ජාතික හෙළ උරුමය සමඟ පැවැත්වූ බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරයි.

ඒ සාකච්ඡා ඉතා සාර්ථක මට්ටමින් තිබුණු බවත් එහෙත් අවසානයේ ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ගියොත් ඕනනම් ඡන්ද 25,000 ක් ආණ්ඩුවට අහිමි වනු ඇති බවට ඒ අවස්ථාවේ ඒ ආණ්ඩුවේ සිටි ප්‍රබලයා ප්‍රකාශ කිරිම නිසා සිය සාකච්ඡා බිඳ වැටුණු බවද අමාත්‍යවරයා හෙළි කරයි.

ජාතික හෙළ උරුමය පිළිබඳ එම අවතක්සේරුව මත ජාතික හෙළ උරුමය ආණ්ඩුවෙන් ඉවත්ව ගියා පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරාජය වී ආණ්ඩුවද අහිමි වන තත්ත්වයට පත්වූ බවද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජාතික හෙළ උරුමය අවතක්සේරු කළ ප්‍රබලයා කවුරුදැයි ගම්මන්පිල අමාත්‍යවරයා විසින් හෙළිදරව් කර නොමැති අතර ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ වගකීම බැසිල් රාජපක්ෂ මහතා භාර ගත යුතු බවට ප්‍රභල මතයක් ඒ අවධියේ මහින්ද රාජපක්ෂ කදවුර තුළින්ම ගොඩනැගී තිබුණි.

පූජ්‍ය ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, පූජ්‍ය අතුරලියේ රතන හිමි, පාඨලි චම්පික රණවක මහතා ඇතුළු වූ ජාතික හෙළ උරුමයේ ප්‍රබලයින් ඒ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ කඳවුරෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෛත්‍රිපාල සිරිසේන කඳවුරට සහාය දීමට ගිය අතර උදය ගම්මන්පිල අමාත්‍යවරයා පිවිතුරු හෙළ උරුමය නමින් නව පක්ෂයක් පිහිටුවා ගනිමින් මහින්ද රාජපක්ෂ කඳවුරු තුළ අද වන තුරුම රැදී සිටි.

ජාතික හෙළ උරුමය තුළ බෙදීමක් ඇති කළේ උදය ගම්මන්පිල මහතා බවට 2015 ජනපතිවරණය ආසන්නයේ චෝදනා එල්ල විය.

ගම්මන්පිල අමාත්‍යවරයා මෙම කරුණු හෙළිදරව් කර තිබුණේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 April 2021 12:16