May 10, 2024

"චම්පික එක්ක මගේ කිසි තරහක් නෑ" - ගම්මන්පිලගේ අලුත්ම තැටිය

පසුගිය මහමැතිවරණ සහ ජනාධිපතිවරණ සමයේ පාඨලී චම්පික රණවක මහතාට වඩා හිට්ලර් හොඳ යයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ එම ස්ථාවරය මේ වන විට වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

සති අන්ත ජාතික පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වූ ගම්මන්පිල අමාත්‍යවරයාගෙන් පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ පාඨලී චම්පික රණවක මහතා සමග තමාගේ කිසිදු තරහක් නොමැති බවය.

පාඨලී චම්පික රණවක මහතා සහ තමා අතර බෙදීම ඇතිවූයේ 2015 ජනාධිපතිවරණය අරභයා ඇති වූ ප්‍රතිපත්ති හේතූන් මත මිස වෙනත් කිසිදු කරුණක් නිසා නොවන බව ද පෙන්වා දෙන අමාත්‍යවරයා එදා දැරූ මතය අද සනාථ වී තිබෙන බවද සඳහන් කරයි.

එදා තමා දුටු දේ චම්පික රණවක මහතා දුටුවානම් අද තමන් දෙපළ අතර බෙදීමක් ඇති නොවන බවද අමාත්‍යවරයා අවධාරණය කරයි.

ගම්මන්පිල අමාත්‍යවරයා පාඨලී චම්පික රණවක මහතාව "පාචලී රණවක"ලෙස බොහෝ කලක් උපහාසයෙන් යුතුව හඳුන්වන ලදී.

2015 ජනාධිපතිවරණය වන තෙක් සිහළ උරුමය හා ජාතික හෙළ උරුමය හරහා පාඨලී චම්පික රණවක හා උදය ගම්මන්පිල යන මහත්වරුන් වසර 15 ට අධික කාලයක් එකට එක්ව දේශපාලනය කළ අතර 2015 ජනාධිපතිවරණයේදී ජාතික හෙළ උරුමය මහින්ද රාජපක්ෂ කඳවුරෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ මෛත්‍රිපාල සිරිසේන කඳවුරට එක්වූ අතර උදය ගම්මන්පිල මහතා පිවිතුරු හෙළ උරුමය නමින් නව පක්ෂයක් පිහිටුවා ගනිමින් මහින්ද රාජපක්ෂ කඳවුරේම රැඳුනි.

මේ දිනවල යළිත් වතාවක් හිට්ලර් චරිතය ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ කතා බහට ලක් වෙමින් තිබීම ද විශේෂත්වයකි.

Rate this item
(0 votes)
Last modified on Monday, 19 April 2021 01:44