May 09, 2024

තවත් පොලිස් පහර දීමක්: පුද්ගලයෙකු මරුට (VIDEO)

ගල්කිස්ස පොලීසිය විසින් සිදු කළ පහර දීමකින් තම සැමියා මිය ගිය බවට බිරිඳ විසින් චෝදනා කර තිබේ.

කළුබෝවිල පාසල් මාවතේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකු පසුගිය 18 වැනිදා ගල්කිස්ස පොලීසිය විසින් ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවක් සඳහා අත්අඩංගුවට ගෙන තිබේ.

පසුදින (19) වැනිදා ඔහුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබුණු අතර ඉන්පසුව පොලීසිය විසින් කළ පහරදීමක් හේතුවෙන් අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලේ ප්‍රතිකාරද ලබාගෙන තිබුණි.

කෙසේ වෙතත් එම පුද්ගලයා පසුගිය 30 වැනිදා නැවත ආබාධ තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබුණු අතර ඊයේ (31) දිනයේ දී ඔහු හදිසියේ ජීවිතක්ෂයට පත්ව ඇත.

මේ සම්බන්ධව මහේස්ත්‍රාත් පරික්ෂණයක් ද ඊයේ දිනයේ දී පැවැත්වුණු අතර ගල්කිස්ස වැඩබලන මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ වෛද්‍යවරයා හට පශ්චාත් මරණ පරික්ෂණයක් පවත්වන ලෙසද නියෝග කර තිබේ.

එම පශ්චාත් මරණ පරික්ෂණය අද (01) දිනයේ සිදු කිරීමට නියමිත අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ එම පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවෙන් පසුව ඉදිරි විමර්ශන ආරම්භ කරන බවයි.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් චෝදනා කරන්නේ තමන්ගේ සැමියා හට පටිවලින්, උල්වලින් පහර දී තිබූ බවත්, ඔහුගේ තත්ත්වය ආසාධ්‍ය වී තිබුණු බවත්ය. 

එමෙන්ම රෝහලෙන් තම සැමියාට හොඳටම පහර දී ඇති බවට ප්‍රකාශ කළ බවත් නැවතී ප්‍රතිකාර ලබාගන්නා ලෙසත් පවසා සිටි බවත් මිය ගිය පුද්ගලයාගේ බිරිඳ විසින් ප්‍රකාශ කළාය. 

මෙම පහර දීම සම්බන්ධයෙන් කිසිවෙක් පිටතට නොකියන ලෙසත්, ඇප ලබාදෙන බවත් පොලීසිය විසින් තම සැමියාට ප්‍රකාශ කර තිබූ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

තමන්ගේ සැමියා වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කර දෙන ලෙසද ඇය එහිදී ඉල්ලා සිටියේය.

ඇය සිදුවීම ගැන දැක්වූ සම්පුර්ණ අදහස පහතින්,

Rate this item
(0 votes)

Related items