May 19, 2024

රියදුරුට පහරදුන් පොලිස් නිලධාරියා ගැන හෝඩුවාවක්

හයිලෙවල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු රියදුරෙකුට අමානුෂික ලෙස පහර දීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අදාල පොලිස් නිලධාරියා අමානුෂික ලෙස කළ පහරදීම මාධ්‍ය තුල සඳහන් කර තිබුණේ රෙස්ලින් පහරදීමක් ලෙසයි.

එම පොලිස් නිලධාරියා සටන් ක්‍රීඩාවක නිරත වූ අයෙක්ද යන්න කළ විමසීමකදී අජිත් රෝහණ මහතා පැවසූවේ හිටපු ක්‍රීඩකයෙක් බවත් නමුත් රෙස්ලින් හෝ සටන් ක්‍රීඩාවක නිරත වූ බවට වාර්තා නොවන බවත්ය.

රියැදුරා අත වැරදි පැවතිය හැකි නමුත් පොලිස් නිලධාරියා කළ පහර දීම පොලිසිය අනුමත නොකරන බවද ඔහු වැඩිදුරටත් පැවසී ය.

අදාළ රියැදුරා සිය ලොරිය පදවාගෙන යද්දී සේවයේ යෙදී සිටි මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කර ඇති අතර රථවාහන ස්ථානාධිපතිවරයා මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අදාළ පොලිස් නිලධාරියා මහරගම පොලිසියට අනුයුක්තව සේවය කරන පුද්ගලයෙකි.

පන්නිපිටියේ හයිලෙවල් මාර්ගයේ රථවාහන රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු බිම ඇදවැටුණු පුද්ගලයකු මත නැගී ඔහුට පහර දෙන ආකාරය දැක්වෙන එම වීඩියෝව ඊයේ පස්වරුවේ සිට සමාජ ජාලා ඔස්සේ සංසරණය විය.

වීඩියෝව සංසරණය වීමත් සමඟ අදාළ නිලධාරියා සොයා පොලිසිය වහාම විමර්ශනයක් සිදුකළ අතර ඒ අනුව එම නිලධාරියා මහරගම පොලිසියට අනියුක්තව සේවය කරන කොස්තාපල්වරයකු බවට හඳුනා ගෙන තිබේ. 

Rate this item
(0 votes)

Related items