April 27, 2024

විමලවීර දිසානායක, වනජීවී ගැටුම පාර්ලිමේන්තුවටත් : සජබ මන්ත්‍රී පාර ඇරලා දෙන්නැයි කළ ඉල්ලීමත් එළිවෙයි

December 04, 2020

විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා හා වනජීවී නිලධාරීන් අතර ගැටුමක් ඇති වීමට මුල් වූ පොලොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානය මැදින් ඉදිකිරීමට යෝජිත යක්කුරේ දක්වා වූ මාර්ගය සම්බන්ධයෙන් අද (4) පාර්ලිමේන්තුවේදී විශේෂ එළිදරව් කීපයක් සිදුවිය.

පොළොන්නරුව ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය හරහා යක්කුරේ දක්වා මාධ්‍යයක් ඉදිකිරීමට වනජීවී අධ්‍යක්ෂක වරයා අවසර දී ඇත්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එවැන්නකට වන ජීවී අධ්‍යක්ෂකවරයා අවසර දී නොමැති බවත් එවැනි තීරණ ගනු ලබන්නේ වනජීවී අධ්‍යක්ෂකවරයා පමණක් නොව ඇමතිවරුන්ගේ ද සහභාගිත්වයෙන් බව සඳහන් කරන ලදී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා මෙම මාර්ගය ඉදිකර දෙන ලෙස පොළොන්නරු දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා අන් මහජන නියෝජිතයින් පමණක් නොව සමගි ජන බලවේගය නියෝජනය කරන කිංග්ස් නෙල්සන් මන්ත්‍රීවරයාද උපදේශන කාරක සභාවේ දී ඉල්ලා සිටි බවද පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කරන ලදී.

ඒ සමගම ඊට පිළිතුරු දීමට නැගී සිටි කිංග්ස් නෙල්සන් මන්ත්‍රීවරයා සඳහන් කළේ තමා එවැනි ඉල්ලීමක් උපදේශන කාරක සභාවේදී නොකළ බවත් තමා එහිදී සඳහන් කළේ ගවයින් බැඳි කරත්ත ගමන් ගත් මාර්ගය එම වනෝද්‍යානය මැදින් වැටී ඇති බව පමණක් බවය.

එම පිළිතුරක් සමග විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා අසල සිටි පොලොන්නරුව නියෝජනය කරන අතුකෝරල මන්ත්‍රීවරයා සඳහන් කළේ බොරු කියන්න එපා. ඔබ තමාගේ පියාට ද කර ගැනීමට නොහැකි වූ මේ පාර විවෘත කර දෙන ලෙස උපදේශන කාරක සභාවේ දී ඉල්ලා සිටි බවය.

මෙම වනෝද්‍යානය මැදින් යක්කුරේ දක්වා මාර්ගයක් ඉදිකිරීම සම්බන්ධයෙන් තාමත් තීරණයක් ගෙන නොමැති බව සඳහන් කළ විමලවිර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් කරුණු හදාරමින් සිටින බව ද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කරන ලදී.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 December 2020 12:43

Related items