April 28, 2024

"පොලිසිය නැත්නම් රෙදි ගලවනවා" - ගොවි හූ හඬ මැද්දේ රාජ්‍ය ඇමති පලා යයි

September 15, 2021

"මොකක්ද මුගේ ඇමතිකම. උඹ මාළු කයිද. නියම ඇමති කෙනෙක් නං එන්න ඕන අපේ ළඟට. තොපිට ජාති ජාතිත් හරියන්නේ නෑ.මේ කරන අපරාදෙට." යයි සඳහන් කරමින් අම්පාර ප්‍රදේශයේ ගොවීන් පිරිසක් විසින් විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාට හූ කියා ගමෙන් පැන්නීමේ සිද්ධියක් වාර්තා වනවා.

විමලවීර රාජ්‍ය අමාත්‍යවරයාට එම විරෝධය එල්ල වී තිබෙන්නේ ඔහු නියෝජනය කරන අම්පාර දිස්ත්‍රික්කයේ රජ වැව ප්‍රදේශයේ විසිතුරු මසුන් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ගිය අවස්ථාවේ.

වැව් බැම්මේ ප්‍රශ්නය

ගොවිතැන් සඳහා වතුර ලබා ගන්නා වැවක් ආශ්‍රිතව දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය නිසා සිය ගොවි බිම් වලට ජලය ලබා ගැනීමට නොහැකි බව සඳහන් කරමින් ගොවීන් රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව සිය විරෝධතාවය දක්වා තිබුණා.

අදාළ විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘතිය සඳහා ජලය ලබා ගැනීමට ගොවිතැන් සඳහා ජලය ලබා ගන්නා වැවේ වැව් බැම්ම කඩා එය වැලි කොට්ට වලින් හරස්කර තිබීමේ හේතුවෙන් වැව් බැම්ම අනාරක්ෂිත බවටත් ගොවීන් චෝදනා කරනවා.

"අපේ මුළු පවුලම ඡන්දෙ දුන්න ඔය මනුස්සයට. පොලීසිය හිටියේ නැත්නම් තොපේ රෙදි ඔක්කොම ගලවනවා" යයිද පවසමින් ගොවීන් දැක්වූ විරෝධතාවය හමුවේ අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගියා.

රාජ්‍ය නිලධාරීන්ටත් දොස්

අදාල විසිතුරු මත්ස්‍ය ව්‍යාපෘතියට අනුමැති යෙදීම සම්බන්ධයෙන් එහිදී ගොවීන් රාජ්‍ය නිලධාරීන්ටද දොස් පවරමින් ප්‍රශ්න කළේ රක්ෂිතයක් තුළ මෙවැනි ව්‍යාපෘති වලට අවසර දුන්නේ කෙසේද යන්නයි.

එතැනින් ඉවත්ව ගිය රාජ්‍ය අමාත්‍යවරයා මුහුදු මහා විහාරයට ගිය අවස්ථාවේ ගොවීන් තමන්ට දැක්වූ ප්‍රතිචාරයට පිළිතුරු දුන්නා.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් පවුල් ගණනාවකට ආදායම් මාර්ගයක් නිර්මාණය වන බව එහිදී පෙන්වා දුන් රාජ්‍ය අමාත්‍යවරයා තමන්ට විරෝධය දැක්වූයේ මනුෂ්‍යයන් විය නොහැකි බවත් ප්‍රකාශ කලා.

Rate this item
(3 votes)
Last modified on Wednesday, 15 September 2021 12:59