April 26, 2024

ඇමති විමලවීර, වියත්මගේ ශර්මිලාට බැණ තර්ජනය කරයි! පළිගැනීමේ අමුතු සැළසුමත් එළියට!

රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා විසින් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරියවන ශර්මිලා රාජපක්ෂ මහත්මියට බැණ වැදී ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වෙනවා.

දුරකතන ඇමතුමක් හරහා ඔහු මෙලෙස බැණ වැදී ඇති අතර එහි දී රාජ්‍ය අමාත්‍යවරයා අධ්‍යක්ෂවරියට තර්ජනය කොට ඇති බව ද සඳහන්.

පින්නවල අලි අනාථාගාරයේ නිවුන් අලි පැටවුන් දෙදෙනෙකුට නම් තැබීමේ උත්සවයක් පෙරේදා (11) පැවැත්වුණු අතර එම උත්සවයේ ආරාධනා පත්‍රය පිළිබඳ ගැටළුවක් මුල් කරගනිමින් රාජ්‍ය අමාත්‍යවරයා මෙලෙස ක්‍රියා කර ඇති බව යි පැවසෙන්නේ.

බොළඳ ගැටළු

"හස්ති නාම මංගල්‍යය" ලෙස නම් කොට තිබූ මෙම උත්සවය තම ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවට අදාළ ආරාධනා පත්‍රයේ සඳහන් නොවූ බව පවසමිනුයි රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා කෝපාවිශ්ඨ වී මෙලෙස ශර්මිලා රාජපක්ෂ මහත්මියට බැණ තර්ජනය කොට ඇත්තේ.

එම ආරාධනා පත්‍රයෙහි දක්වා ඇත්තේ “වනජීවී රැකවරණය, අලි වැට හා අගල් ඉදිකිරීම ඇතුළු ආරක්ෂිත වැඩ පිළිවෙලවල් හා කැලෑ නැවත වගා කිරීම හා වන සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු විමලවීර දිසානායක මැතිතුමාගේ ආරාධනයෙන්, වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය ගරු සී.බී. රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්” ලෙසට යි.

“ප්‍රධානත්වයෙන්” යන වචනය තමන්ට නොදී සී.බී. රත්නායක අමාත්‍යවරයාට ලබා දීම පිළිබඳව යි විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයා උරණ වී ඇත්තේ.

කෙසේ වෙතත් මෙම විෂය සම්බන්ධ කැබිනට් අමාත්‍යවරයා සී.බී. රත්නායක මහතාවන අතර ඔහුගේ අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය අමාත්‍ය ධූරය විමලවීර දිසානායක මහතා විසින් දරනු ලබනවා.

ඒ අනුව බැලූ කල රජයේ උත්සව සඳහා ආරාධනා පත්‍ර සකස් කිරීමේ නියමිත ක්‍රමවේදය යටතේ මෙම ආරාධනා පත්‍රය ද සකස් කොට ඇති බව පෙනෙන්නට තිබෙනවා.

ඇමති ඩබල තරහින්

මේ අතර සී.බී. රත්නායක සහ විමලවීර දිසානායක යන දෙදෙනා අතර යම් අමනාපයක් ද පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

මෙම ආරාධනා පත්‍ර ගැටළුව දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාට පැණනැගී ඇත්තේ එම හේතුව නිසා බව යි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ.

කෙසේ වෙතත් මෙම උත්සවය සඳහා අමාත්‍ය සී.බී. රත්නායක මහතා හෝ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා හෝ සහභාගී වී නොමැති බව ද වාර්තාවනවා.

එලෙස ඔවුන් දෙදෙනා උත්සවයට සහභාගී නොවීම පිටුපස ඇත්තේ ද දෙදෙනා අතර පවතින විරසකය බව ද පුවත් ආරංචි මාර්ග පැවසුවා.

පළිගැනීමේ සැළසුමක්

මේ අතර මෙම ආරාධනා පත්‍රය මුල්කරගනිමින් ශර්මිලා රාජපක්ෂ මහත්මියට තර්ජනය කර ඇති රාජ්‍ය අමාත්‍යවරයා, ඇය සමග විරසක වීමෙන් නොනැවතී ඇගෙන් පළිගැනීම පිණිස ඇයට එරෙහි ක්‍රියාදාමයක් සැළසුම් කරමින් සිටින බව ඒෂියන් මිරර් වෙත වාර්තා වූවා.

අධ්‍යක්ෂවරියට විරුද්ධව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සේවක වෘත්තීය සමිතියක් උසිගැන්වීමට විමලවීර දිසානායක මහතා මේවන විට ක්‍රියාකර ඇති අතර එම වෘත්තීය සමිතිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දෙන්නක් (ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තු සේවක සංගමය) බව ද සඳහන්.

ඒ හරහා අධ්‍යක්ෂ ධූරය රාජපක්ෂ මහත්මියගෙන් ඉවත් කිරීම විමලවීර දිසානායක රාජ්‍ය අමාත්‍යවරයාගේ අරමුණ වී තිබෙනවා.

එය සිදු කිරීමට රාජ්‍ය අමාත්‍යවරයා සැළසුම් කොට ඇත්තේ අදාළ වෘත්තීය සමිතිය නියෝජනය කරන සේවක සේවිකාවන් යොදාගෙන හදිසි වැඩ වර්ජනයක් සංවිධානය කිරීම හරහාවන බව යි අප වෙත වාර්තා වූයේ.

ශර්මිලා රාජපක්ෂ මහත්මිය වර්තමාන රජය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් කිරීම සඳහා “වියත්මග” සංවිධානය හරහා කැප වූ තැනැත්තියක්වන අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් විසින්ම ඇයට එරෙහිව මෙලෙස ක්‍රියා කිරීම විශේෂත්වයක්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු, වියත්මග නියෝජනය කරන්නන් හට විරෝධයකින් කටයුතු කරන බව දේශපාලන කරළියේ ප්‍රසිද්ධ රහසක් ද වනවා.

ඉහත කී සිදුවීම පිටුපස එම හේතුව ද පවතින බව යි බැලූ බැල්මට ද පෙනී යන්නේ.

ජනතාව දුක් විඳිද්දී ඇමතිලාට මෝඩ ප්‍රශ්ණ

මේවන විට ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දිනෙන් දින අගාධයකට වැටෙමින් පවතින අතර දේශපාලනික වශයෙන් ද රට දිනෙන් දින ජරා ජීර්ණ වෙමින් පවතින බවට ඉහත සිද්ධිය එක් උදාහරණයක් පමණ යි.

ජීවන වියදම ඉහළ යාම, පොහොර ගැටළුව, ගෑස් අනතුරු, විදුලි බල අර්බුධය, අත්‍යාවශ්‍ය භාණ්ඩ හා සේවා අධික මුදලක් ගෙවා හෝ ලබා ගැනීමට නොහැකිවන පරිදි හිඟ වී තිබීම සහ ඒ හරහා පෝලිම් යුගයක් නිර්මාණය වී තිබීම ආදී ගැටළුවලින් ජනතාව හෙම්බත් වී සිටින අතර දේශපාලනඥන් ඒ පිළිබඳ කිසිදු හැඟීමකින් තොරව ඔවුනොවුන්ගේ බොළඳ ගැටළු හා ගැටෙමින් කටයුතු කරන ආකාරයයි නිරන්තරයෙන් දක්නට ලැබෙන්නේ.

එමෙන්ම ජනතාවට අභියෝගාත්මක වී ඇති මොහොතක, ජනතාව වෙනුවෙන් දිවි දෙන්නට සූදානම් බවට මැතිවරණ වේදිකාවන්හි සපථ කරමින් කෑමොර දුන් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් සුඛෝපභෝගී නිවාඩු ගත කිරීම සඳහා විදෙස්ගත වීම ද පසුගිය කාලයේ වාර්තා වූවා.

තව ද දේශපාලනඥයින් ජනතාව පිළිබඳ කිසිදු තැකීමක් නොකර සිය දේශපාලන බලය රැක ගැනීම වෙනුවෙන් වෙහෙසවන, හඬ නගන අයුරු මේවනවිටත් එදිනෙදා දක්නට ලැබෙනවා.

පෝලිම්වල සිටින ජනතාව පක්ෂ විපක්ෂ සියළු දේශපාලනඥයින්ට හෙණ ඉල්ලමින් සාප කරන්නේ මෙවන් පසුබිමක යි.

Rate this item
(1 Vote)
Last modified on Thursday, 13 January 2022 22:03