April 30, 2024

අගමැතිකම ගැන අගමැතිම සිය ස්ථාවරය කියයි

දේශපාලනයෙන් සමු ගැනීමට හෝ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්වීමට තමා සූදානම් නැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යළිත් වතාවක් සඳහන් කළා.

ඔහු පසුගිය කාලය තුළ එසේ සඳහන් කළ තුන්වැනි අවස්ථාව මෙයයි.

බලපෑමක් පිළිබඳ සැකය

අග්‍රමාත්‍යවරයාට එම ධූරයෙන් ඉවත් වෙන ලෙස කිසියම් පාර්ශවයකින් බලපෑමක් සිදු වනවාද යන්න සැකයක් එම ප්‍රකාශය සමඟ දේශපාලන ක්ෂේත්‍රයේ මතුව තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය පිළිබඳව ඔහුට හිතවත් දේශපාලඥයන් තුළද කතා බහට ලක්ව තිබෙන බවයි දැනගන්නට තිබෙන්නේ.

ඉකුත් 30 දින අග්‍රාමාත්‍යවරයාගේ පියා වන ඩී.ඒ.රාජපක්ෂ මහතාගේ ජන්ම දිනය යෙදී තිබූ අතර එදින අග්‍රාමාත්‍යවරයා ගුවන් විදුලි සංස්ථාවේ වැඩසටහනකට සහභාගි වුණා.

අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය

එහිදී ඔහු අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරුණා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා සෘජුවම පැවසුවේ තමා මේ අවස්ථාවේ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන්නේ නැති බවත් දේශපාලනය කරන කෙනෙක් දේශපාලනයෙන් ඉවත් වන්නේ ජනතාව ප්‍රතික්ෂේප කළහොත් බවයි ඊට පිළිතුර ලෙස අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙන්නේ.

තමාගේ විශ්වාසයේ හැටියට තමා තවමත් ජනතාව අතර සිටින බවද අග්‍රාමාත්‍යවරයා එහිදී සදහන් කොට තිබෙනවා.

එදිනම වාරි සෞභාග්‍යය වැඩ සටහනටද සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ මේ අර්බුදකාරී අවස්ථාව දේශපාලනය කරන අවස්ථාවක් නොව රට ගැන සිතා හැමෝම වැඩ කළ යුතු අවස්ථාවක් බවයි.

Rate this item
(3 votes)
Last modified on Sunday, 03 April 2022 19:25