May 04, 2024

අර්බුධය මැද විජේදාස කට අරී - කරන දේ ගැනත් කියයි

මේ වන විට රටේ පවතින ආර්ථික අර්බුධය ඇතුළු අර්බුධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අදහස් දක්වා තිබෙනවා.

මෙරට ජනතාව මේ වනවිට මුහුණ දෙන අවාසනාවන්ත අත්දැකීම්වලට හේතු වී ඇත්තේ කොවිඩ් වසංගතය හෝ ලෝක වෙළඳපලේ මිල උද්ධමනය නොවන බව ද රාජපක්ෂ මහතා පවසනවා.

එය පසුගිය දශක කිහිපය තුළ මෙරට පවත්වා ගෙන ගිය දූෂිත, අකර්මණ්‍ය සහ ආත්මාර්ථකාමී දේශපාලන ක්‍රියාවලිය සහ පවුල්වාදය නිසා ඇතිවූ එකක් බවයි ඔහු සඳහන් කරන්නේ.

මේ වන විට රට තුළ තිබෙන අර්බුදය ජය ගැනීමට නම් අන්තර් ආණ්ඩුවක් සහ අන්තර් කැබිනට් මණ්ඩලයක් පත් කළ යුතු බව ද රාජපක්ෂ මහතා අවධාරණය කරනවා.

විසිඑක් වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ඔහු මෙම අදහස් පළ කර සිටියේ.

ඒ පිළිබඳව පැහැදිලි කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා,

"විධායක බලය තනි පුද්ගලයෙක් අපේ තියනකම් ජනතාවගේ දැවෙන ප්‍රශ්න වලට ප්‍රශ්න වලට විසදුම් හොයන්න බෑ. මේ බලය ජනතාවට සහ පාර්ලිමේන්තුවට වගකියන අමාත්‍ය මණ්ඩලය වෙත පැවරෙන්න ඕනේ. ඒ නිසා තමයි විසිඑක් වන ව්‍යවස්ථා සංශෝධනය මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. විසිඑක් වන සංශෝධනය යටතේ පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් එක් මන්ත්‍රීවරයෙක් සුදුස්සෙක් ජනාධිපතිවරයා ලෙස තෝරා පත්කර ගැනීමටත් එම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේ බලය මෙහෙයවන්නට පුළුවන් සුදුස්සෙක් අග්‍රාමාත්‍යවරයා වශයෙන් පත් කරන්න ඕනේ. ඒ අග්‍රාමාත්‍යවරයා විසින් ඒ ඒ විෂයයන් ගැන ප්‍රමාණවත් දැනීම තියෙන ඇමැති මණ්ඩලයක් පත් කරන්න ඕනේ. ඒ ඇමති මණ්ඩලයට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ නියෝජනය වෙන්න ඕනි."

"මේක අන්තර් ආණ්ඩුවක්. අන්තර් කැබිනට් මණ්ඩලයක්. අලුතෙන් පත් කරන ජනාධිපතිවරයා සමගම වර්තමාන ජනාධිපතිවරයාගේ ධූර කාලය නිම වෙන්න ඕනේ. අග්‍රාමාත්‍යවරයා විසින් දෙනු ලබන උපදෙස් මත ජනාධිපතිවරයා විසින් සියලු විධායක කාර්යයන් ඉටු කරන්න ඕනේ. එතකොට පාර්ලිමේන්තුව තුළ භේදවලින් තොරව කටයුතු කරලා දැනට තියෙන අභියෝග ජය ගන්න පුළුවන්. මේ ක්‍රමය වසරක් හෝ දෙකක් හෝ ගොස් ප්‍රශ්න විසඳුවාට පසු නැවත ජනතාවට අවස්ථාවක් දෙන්න ඕනේ රටට ආදරය කරන පාලකයින් කණ්ඩායමක් තෝරා ගන්න. ඒ වගේම මේ ව්‍යවස්ථාවේ අන්තර්ගත කරලා තියෙනවා ද්විත්ව පුරවැසියන්ට මේ රටේ ඇමතිකම් දරන්න බෑ කියලා."

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ඔහු ඉදිරිපත් කළ අදහස් පහතින් දැක්වෙනවා.

Rate this item
(2 votes)
Last modified on Wednesday, 23 March 2022 08:55