May 19, 2024

මේ ප්‍රදේශවලට විදුලිය කපන්න එපා - ලේකම්වරයෙක් විදුලිබල ලේකම්ට ලිපියක් යවලා Featured

ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා විසින් විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබෙනවා.

ඒ ගාල්ල දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය ක්‍රියාත්මක කෙරෙන ප්‍රදේශවල විදුලිය විසන්ධි කිරීම මගහරවා ගැනීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි. 

ගාල්ල දිස්ත්‍රික්කයේ බෙන්තොට, බලපිටිය, අම්බලන්ගොඩ, හික්කඩුව, ගාල්ල, කඩවත්සතර, හබරාදුව, මාදම්පාගම හා රජ්ගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මගින් ආවරණය කෙරෙන කිලෝමිටර් 74 ක ප්‍රමාණයක වූ වෙරළ බඩ තීරය සංචාරක කර්මාන්තය අතිශයින් ප්‍රචලිත වී තිබෙන බවද මෙම ලිපිය මගින් ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දැනුම්දී තිබෙන බව ඒෂියන් මිරර් වෙත වාර්තා වනවා.

කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් වසර දෙකක පමණ කාලයක් සංචාරක කර්මාන්තයේ මුළුමනින්ම පාහේ බිඳ වැටුණු අතර මේ හේතුවෙන් සංචාරක කර්මාන්තයේ නියැළුණු ප්‍රජාව දැඩි අසීරුවට ලක්වූ බවද ගාල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරනවා.

දිවයින පුරාම ක්‍රියාත්මක විදුලි විසන්ධි වීම හේතුවෙන් මෙම සංචාරක වශයෙන් ජනාකීර්ණ ප්‍රදේශ වල සංචාරක ප්‍රජාවට සත්කාර කරන්නන්ට විවිධ අපහසුතා නිර්මාණය වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ආර්ථික කටයුතු වලට ද බලපෑම් එල්ල වන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් ලේකම්වරයා විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යවනු ලබන ලිපියෙහි සඳහන් කොට තිබෙනවා.

මෙම තත්වය වලක්වාලීම සඳහා ඉහත ප්‍රදේශ ගැන විශේෂයෙන් අවධානය යොමු කොට සංචාරක කර්මාන්තය අඛණ්ඩව පවත්වාගෙන යාම පිණිස අවශ්‍ය විදුලි බලය නොකඩවා මෙම ප්‍රදේශයන් වෙත ලබාදීමට ඊලග පියවර ගන්නා ලෙසද ගාල්ල දිස්ත්‍රික් ලේකම් ශාන්ත වීරසිංහ මහතා විසින් යවනු ලැබූ ලිපියෙහි වැඩිදුරටත් සඳහන්.

Rate this item
(1 Vote)