May 08, 2024

69 ලක්ෂය දැන් දුර්මුඛයි: විමල්ගේ ගෝලයා කෙලින්ම කියයි

February 18, 2022

වත්මන් ජනපතිවරයාට ඡන්දය දුන් 69 ලක්ෂය අද පත්ව සිටින තත්ත්වය පිළිබඳව ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා හෙළිදරව් කරනවා.

විමල් වීරවංශ අමාත්‍යවරයා නායකත්වය දෙන ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන සමරවීර මහතා සඳහන් කරන්නේ 69 ලක්ෂය අද දුර්මුඛ වී සිටින බවයි.

අවබෝධය නොමැතිකම

සිදුවුණේ කුමක්ද , සිදුවෙන්නේ කුමක්ද යන්න පිළිබඳව අද 69 ලක්ෂයට අවබෝධයක් නොමැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

රට මේ මොහොතේ මුහුණ දෙමින් සිටින අභියෝග පිළිබඳව ඒවායේ බරපතළකම් පිළිබඳව ආණ්ඩුවක් විදිහට එම ජනතාව දැනුවත් කර නොමැති වීම ඊට හේතුව ලෙසයි ඔහු අවධාරණය කරන්නේ.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ 69 ලක්ෂයට පමණක් නොව ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා කැපවීම් කළ ආණ්ඩුවේ පාක්ෂික බලවේගවලටත් ඒ සම්බන්ධයෙන් අවබෝධයක් ලබාදිය යුතු බවයි.

තමන්ගේ ස්ථාවරය

එහෙත් අවාසනාවකට එයද සිදුවී නැති බවත් ඔහු අවධාරණය කරනවා.

ලෙඩක් තිබෙද්දී හංගන්න ගියහොත් සිදුවන්නේ අවසානයේ ලෙඩේ උත්සන්න වී මිය යාම බව සදහන් කරන රාජ්‍ය අමාත්‍යවරයා කවුරු ලෙඩේ හැංගුවත් තම පාර්ශ්වය ලෙඩේ හංගන්නෙ නැති බව පෙන්වා දෙනවා.

එසේ ලෙඩේ පෙන්නන කෙනාට බැන වැදීමෙන් ලෙඩේට ප්‍රතිකාර ලැබෙන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා තමන් ද නියෝජනය කරන ආණ්ඩුවට පෙන්වා දෙන්නේ.

ජයන්ත සමරවීර රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ සති අන්ත ජාතික පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකදී 69 ලක්ෂය සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 February 2022 03:37