May 08, 2024

රනිල්, සාගලට දෙකක්ම දීම පිටුපස වෙනම කතාවක්

February 10, 2022

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සාගල රත්නායක මහතාට ජාතික සංවිධායක ධූරය ලබා දීම පිටුපස වෙනම කතාවක් තිබෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරනවා.

රත්නායක මහතාව ජාතික සංවිධායක ධූරයට වික්‍රමසිංහ මහතා පත් කළේ ඔහු දැනට දරන පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට අමතරවයි.

වගකීම ඉටු නොකිරීම

සිරිකොත ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරන්නේ වික්‍රමසිංහ මහතා එම පත්කිරීම කරන ලද්දේ පක්ෂ නියෝජ්‍ය නායකයා රුවන් විජේවර්ධන මහතා සම්බන්ධයෙන් මතු වූ ගැටලුකාරී තත්ත්වයක් නිසා බවයි.

රට පුරා පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වගකීම පක්ෂ නායකයා විසින් නියෝජ්‍ය නායකයා වන විජේවර්ධන මහතාට පවරා ඇති මුත් ඔහු එම කටයුත්ත නිසියාකාරයෙන් ඉටු නොකරන බවටයි වික්‍රමසිංහ මහතා වෙත තොරතුරු වාර්තා වී තිබෙන්නේ.

ඒ හේතුවෙන් පක්ෂ නායකයා මෙතෙක් පුරප්පාඩුව තිබූ ජාතික සංවිධායක ධූරය රත්නායක මහතාට ලබා දී තිබෙන්නේ විජේවර්ධන මහතාට පැවරූ ඒ වගකීමද පවරමින්.

ඒ අනුව වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රට පුරා පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ කටයුතු රත්නායක මහතා ආරම්භ කිරීමට නියමිතයි.

සමගි ජන බලවේගය

ඒ හැරුණු කොට රුවන් විජේවර්ධන මහතා එ.ජා.පයෙන් කැඩී ගිය සජිත් ප්‍රේමදාස මහතා නායකත්වය දරන සමගි ජන බලවේගය සමගද යම් යම් සබඳතා පවත්වන බවටද රාවයන් පවතිනවා.

විජේවර්ධන මහතා තම පාර්ශවයට කණ්ඩායමක් ලෙස හෝ තනියෙන් එක්කර ගැනීම සම්බන්ධයෙන් සමගි ජන බලවේග ඉහළ නායකත්වයේ විරෝධයක් නොමැති බවද ආරංචි මාර්ග පෙන්වා දෙනවා.

විජේවර්ධන මහතා යම් දිනෙක එ.ජා.ප නායකයා බවට පත්වන්නේ නම් ඔහුගේ නායකත්වය යටතේ දෙපාර්ශවය එක් පෙරමුණක් වටා එකතු වීම සම්බන්ධයෙන්ද සමගි ජන බලවේග ඉහළ නායකත්වයේ විරෝධයක් නොමැති බවත් වාර්තා වනවා.

කිට්ටු සම්බන්ධකම

මෙතෙක් එ.ජා.පයේ ජාතික සංවිධායක ධූරය දැරුවේ නවීන් දිසානායක මහතායි.

ඔහු එම ධුරය යළි බාර ගැනීම ප්‍රතික්ෂේප කිරීම නිසා එය මෙතෙක් පුරප්පාඩුවයි තිබුණේ.

සාගල රත්නායක මහතා වික්‍රමසිංහ මහතාට දේශපාලනිකව හා පුද්ගලිකව වඩාත් සමීපතම චරිතය ලෙසයි පක්ෂය තුළ හා පොදුවේ රටේ පිළිගැනීම වන්නේ.

මේ නිසාම රත්නායක මහතා වික්‍රමසිංහ මහතාට විශ්වාසවන්තම පුද්ගලයකු ලෙසත් හැඳින්වෙනවා.

Rate this item
(0 votes)
Last modified on Thursday, 10 February 2022 15:25