May 17, 2024

හිටපු ජනපතිගේ මුණුබුරාට මිරිස් කුඩු ප්‍රහාරයක් (AUDIO)

හිටපු ජනපති මුණුබුරාට මිරිස් ගසයි

ජාතික ජන බලවේග නායක අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ උත්සවයකට බිත්තර ප්‍රහාරයක් එල්ල වූ පුවත මේවන විට දේශපාලන කරළිය උණුසුම් කරමින් පවතිනවා.

එවන් පසුබිමක කොළඹ මහනගර සභාවේ නගර සභික ප්‍රදීප් ජයවර්ධන මහතාට අද (31) දින මිරිස් කුඩු දියර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

ප්‍රදීප් ජයවර්ධන යනු හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුබුරා යි.

මිරිස් ගැහුවේ ඇයි?

කොළඹ මහනගර සභාවේ පළමුවැනි පරිසර කමිටු රැස්වීම පැවැත්වූ අවස්ථාවේ දී යි ඔහු ‍මෙම මිරිස් දියර ප්‍රහාරයට ලක්ව ඇත්තේ.

මෙම කමිටු රැස්වීමේ දී සභාපති ධූරය සඳහා ඡන්ද විමසීමක් පවත්වා තිබෙනවා.

එහි දී වැඩි ඡන්දයෙන් තේරී පත්ව ඇත්තේ ප්‍රදීප් ජයවර්ධන මහතා යි.

ඒ අනුව සභාපති ධූරයට තේරී පත් වීමෙන් අනතුරුව එහි සිටි පිරිසක් මෙම මිරිස් ප්‍රහාරය ඔහුට එල්ල කොට ඇති බව යි වාර්තා වන්නේ.

තමන් මුහුණ දුන් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ ජයවර්ධන මහතා කියා සිටියේ ඡන්ද විමසීමෙන් තමන් සභාපති ධූරයට තේරී පත් වුණු බවට ප්‍රකාශයට පත් කිරීමත් සමග පිටුපසින් ආ අයෙකු සිය හිස මතට යමක් හැලූ බවට දැනුණු බව යි.

එලෙස වත් කොට තිබුණේ මිරිස් දිය කළ ජලය බවට තමන් එසැණින් හඳුණාගත් බවත්, තමන් එම අවස්ථාවේ දී කිසිවක් නොකර එය සෝදාගැනීමට ගිය බවත් ඔහු පවසනවා.

ප්‍රහාරකයින් හඳුණාගනියි

එම අවස්ථාවේ දී නගර සභිකයෙකුවන සමන් අබේගුණරත්න නමැත්තා තමන්ට විරුද්ධව කෑගසන්නට වූ බවත්, සිය පිටුපසින් පැමිණ මිරිස් ප්‍රහාරය එල්ල කොට තිබුණේ සමන් අබේගුණරත්නගේ දියණිය විසින් බවටත් ජයවර්ධන මහතා අනාවරණය කරනවා.

ඇය ද මහනගර සභාවේ මන්ත්‍රිණියක්වන බව සඳහන්.

එමෙන්ම අදාළ සමන් අබේගුණරත්න නමැත්තා ද පරිසර කමිටුවෙහි සභාපති ධූරය අපේක්ෂා කළ අයෙකු බව පැවසෙනවා.

ප්‍රදීප් ජයවර්ධන මහතා වැඩිදුරටත් පවසන්නේ තමන්ට මෙම ප්‍රහාරය එල්ල කළ පිරිස තමන් නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේම අයවලුන් බව යි.

ජයවර්ධන මහතා සිය අත්දැකීම් විස්තර කළ අයුරු දැක්වෙන හඬපටය පහතින්…

Rate this item
(0 votes)
Last modified on Monday, 31 January 2022 19:54